විමල් වීරවංශ

විදුලියේ වැඩිවීම සහ කෑම වේල අඩුවීම ගැන විමල්ට කරුණු වරදී!

"

එතකොට මේ 15% විදුලි බිල වැඩි වෙන්නේ 24.5% ක් දුප්පත් කමේ ගිලිලා ඉන්න රටක, ඒ කියන්නේ හතරෙන් එකක්. ඒ වගේම 51% ක් දවසකට වේල් දෙකක් කාලා සෑහීමකට පත් වෙන රටක. […]එතකොට මේ විදුලි බිලේ ඉහළ යාම ඒ විදිටයට බලපාන කොට […] දවසකට වේල් 2ක් කන 51% එක වේලක් කන 51% ක් බවට පත් වෙනවා.

විමල් වීරවංශගේ යූ ටියුබ් නාලිකාව | ජූනි 26, 2025

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙම ප්‍රකාශය තුළින් කරුණු දෙකක් ඉස්මතු කරයි: එනම්, (1) ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 24.5%ක් දරිද්‍රතාවයේ ජීවත් වෙමින් ද, 51%ක් දිනකට ආහාර වේල් 2 ක් පමණක් පරිභේාජනය කරමින් ද, දැඩි ලෙස අගහිඟකම්වලින් පෙළෙන බවත්, (2) විදුලි ගාස්තු මෑතකදී ඉහළ දැමීම නිසා මෙම අගහිඟකම් තවදුරටත් නරක අතට හැරීම හේතුවෙන් දිනකට වේල් දෙකක් පමණක් ආහාරයට ගන්නා 51%ක ජනතාව දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගැනීමට පෙළඹෙනු ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කරයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් ලේඛන පරිශීලනය කරන ලදි: ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ ලෝක බැංකු වාර්තාව (2025 අප්‍රේල්), ලෝක ආහාර වැඩසටහනේ ගෘහ ඒකක ආහාර සුරක්ෂිතතා සමීක්ෂණ වාර්තාව (Household Food Security Survey) (2024 දෙසැම්බර්), ලංකා විදුලිබල මණ්ඩලය විසින් පළ කරන ලද ගාස්තු පදනම් කර ගනිමින් වෙරිටේ රීසර්ච් ආයතනය විසින් සිදු කළ විදුලි බිල්පත් ගණනය කිරීම්, සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර හුවමාරු කරගන්නා ලද ලිපි (එම ලිපි මගින් පරිභෝජනය කරන ලද ඒකක සංඛ්‍යාව සහ ඊට අදාළ පාරිභෝගිකයින් සංඛ්‍යාව ඇසුරින් ගෘහස්ථ විදුලි පරිභෝජනයේ විස්තර සපයන ලදි.)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දරිද්‍රතාව සහ අඩු කරන ලද ආහාර වේල් හා සම්බන්ධ අගහිඟකම් පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වන්නේ ද?

ශ්‍රී ලංකා රජය 2019 න් පසු දරිද්‍රතා අනුපාතය සම්බන්ධයෙන් නිල ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් කර නොමැත. එහෙත්, ලෝක බැංකුව විසින් ක්ෂුද්‍ර සමාකරණ (mirco simulations) භාවිත කරමින් විවිධ දරිද්‍රතා නිර්ණායක සම්බන්ධයෙන් නිල නොවන ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, 2024 දී ජනගහනයෙන් 24.5%කගේ ඒක පුද්ගල දෛනික ආදායම එ.ජ.ඩොලර් 3.65 ට වඩා අඩු වන්නට ඇති බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි. හිටපු පා.ම. විසින් උපුටා දක්වනු ලබන්නේ මෙම අගයයි (අතිරේක සටහන 1බලන්න). කෙසේ වෙතත්, නිල වශයෙන් ගණනය කරන ලද ජාතික දරිද්‍රතා රේඛාවට සාපේක්ෂව ලෝක බැංකු ක්‍රමය මගින් මේ සඳහා (දිළිඳු නොවන ලෙස වර්ගීකරණය කර ඇති ප්‍රතිශතය ලෙස) ලැබෙන්නේ අඩු අගයකි. එම නිසා, උදාහරණයක් ලෙස, 2019 දී දරිද්‍රතාව සඳහා නිල අගය 14.3%ක්ව තිබියදී ලෝක බැංකුව විසින් දරිද්‍රතාව 11.3%ක් ලෙස ඇස්තමේන්තු කරන ලදි.

පරිභෝජනය කරනු ලබන ආහාර වේල් සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් ගත් විට, ආහාර පදනම් කරගනිමින් අගහිඟකම්වලට ඔරොත්තු දීමට කුටුම්භයන් භාවිතා කරන උපායමාර්ග 5 ක් සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් මාසයේදී පවත්වන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ගෘහ එකක ආහාර සුරක්ෂිතතා සමීක්ෂණය මගින් වාර්තා කර ඇත. ආහාර වේල් ගණන අඩු කිරීම ඉන් එක් උපායමාර්ගයක් වන අතර, කුටුම්භවලින් 13%ක් ඊට යොමු වී සිටී. එබැවින්, 51% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩු කර ඇති බවට හිටපු පා.ම. සිදු කළ ප්‍රකාශය සාවද්‍ය වේ. එම සංඛ්‍යාව මගින් බොහෝ දුරට ආහාර වේල් සංඛ්‍යාව අඩු කළ කුටුම්භ සංඛ්‍යාව පමණක් නොව, ආහාර මත පදනම්ව යම් ඔරොත්තු දීමේ උපායමාර්ගයක් අනුගමනය කරන මුළු කුටුම්භ සංඛ්‍යාව අදහස් වන්නට ඇත. අනෙකුත් උපායමාර්ග අතරට අඩු කැමැත්තක් දක්වන/මිල අඩු ආහාර මත යැපීම, ආහාර වේලේ ප්‍රමාණය සීමා කිරීම, ආහාර ණයට ගැනීම සහ වැඩිහිටියන් ආහාර පරිභෝජනය සීමා කිරීම ඇතුළත් වේ. හිටපු පා.ම, ආහාර මත පදනම් වූ ඔරොත්තු දීමේ උපායමාර්ගයක් භාවිතා කරන සමස්ත 51%ක ප්‍රතිශතය, ආහාර වේල් ගණන අඩු කර ඇති ප්‍රතිශතය බවට වරදවා වටහා ගෙන ඇති බව මෙහිදී පෙනී යයි.

විදුලි ගාස්තු ඉහළ නැංවීම, පරිභෝජනය කරනු ලබන අහාර වේල් ගණනට බලපාන්නේ කෙසේ ද?

හිටපු පා.ම. සඳහන් කළ දෙවැනි කරුණ ඇගයීම සඳහා FactCheck.lk විසින් ඉහළ දමන ලද විදුලි ගාස්තු දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව මත ඇති කරන බලපෑම පරීක්ෂා කරන ලදි.

ලංවිම දත්ත පෙන්වා දෙන පරිදි, 2025 මැයි මාසය වන විට, කුටුම්භවලින් 59%ක් මසකට විදුලි ඒකක 60කට වඩා අඩුවෙන් පරිභෝජනය කරමින් සිටි අතර, 29%ක් මසකට ඒකක 30කට වඩා අඩුවෙන් පරිභෝජනය කර සිටියේය.

වෙරිටේ රීසර්ච් ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ දරිද්‍රතාව සහ අඩු විදුලි පරිභෝජනය අතර සමීප සබඳතාවක් ඇති බවයි (අතිරේක සටහන 2 බලන්න). එම නිසා, ආහාර වේල් අඩු කරන බවට හඳුනාගත් කුටුම්භයන් 13% ක ප්‍රතිශතය බොහෝ විට මසකට විදුලි ඒකක 30 හෝ 60 ට වඩා අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන කණ්ඩායම් තුළ සිටිනු ඇත.

මෑතකදී විදුලි ගාස්තු ඉහළ දැමූ අවස්ථාවේදී ඒකක 30ක් පරිභෝජනය කරන පාරි‌‌‌භෝගිකයින් සඳහා මාසිකව රු. 20කින් (දිනකට රු. 0.67) ද, මසකට ඒකක 60ක් පරිභෝජනය කරන පාරි‌භොගිකයින් සඳහා මාසිකව රු. 85කින් ද (දිනකට රු. 2.83) විදුලි ගාස්තු වැඩි කර ඇත. මෙමගින් දෛනික විදුලි ගාස්තුව ඉහළ ගොස් ඇත්තේ රුපියල් 1-3ත් අතර ප්‍රමාණයකින් වන අතර, ඊට කුටුම්භයකට ආහාර වේලක් ලබා ගැනීමේ ඇති හැකියාවට කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කළ නොහැක.

සාරාංශයක් ලෙස, පළමු ප්‍රකාශය ගත් විට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දරිද්‍රතා අනුපාතය පිළිබඳ ලෝක බැංකු ඇස්තමේන්තු නිවැරදිව උපුටා දක්වන නමුත් ගෘහ ඒකක ආහාර සුරක්ෂිතතා සමීක්ෂණ වාර්තාවේ සංඛ්‍යාලේඛන වරදවා වටහා ගනිමින් අගහිඟකම් පිළිබඳව අතිශයෝක්තියෙන් කරුණු දක්වයි. ඔහු සඳහන් කළ පළමු කරුණේ ඇති දෝෂය කුමක් වුව ද, හිටපු පා.ම. සඳහන් කළ දෙවැනි කරුණ අතිශයින්ම පදනම් විරහිත වේ: එය, එක් පවුලකට එක් ආහාර වේලක් සඳහා රුපියල් 1-3 ක් වියදම් වන බවට ප්‍රකාශ කිරීම හා සම වේ.

එබැවින්, අපි හිටපු පා.ම.ගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1: ලෝක බැංකුව විසින්, අඩු සහ මැදි ආදායම් ලබන රටවල් සඳහා වන ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාව 2017 ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම්ව අර්ථ දක්වනු ලබන්නේ එක් පුද්ගලයෙකුට ඇ.ඩො. 3.65ක් ලෙසටයි. එනම්, ශ්‍රී ලංකාව සඳහා අදළ කර ගත් විට මෙය 2019 දී දිනකට එක් පුද්ගලයෙකුට රු. 214.20 ක අගයකි. එහෙත්, එම වසරේම නිල ජාතික දරිද්‍රතා රේඛාව වශයෙන් වාර්තා වූයේ රු. 229.02 ක් වන අතර එය මීට වඩා බෙහෙවින් වැඩි අගයකි.

අතිරේක සටහන 2: වෙරිටේ රීසර්ච් විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ටාගටින් අසිස්ටන්ස්: ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් ඉස් අ සුපීරියර් මෙතඩ් (Targeting assistance: electricity consumption is a superior method (2022)/ සහනාධාර අවශ්‍ය පරදි යොමු කිරීමට විදුලි පරිභෝජනය යොදා ගැනීම වඩා සාර්ථක ක්‍රමයකි (2022)’ යන පර්යේෂණ පත්‍රිකාව, දරිත්‍රතාව සඳහා විදුලි පරිභෝජනය ඉතා ඵලදායි ආදේශකයක් ලෙස හඳුනා ගනී.



මූලාශ්‍රය

ලෝක බැංකු සමූහය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ වාර්තාව 2025. (2025 අප්‍රේල්)

https://www.worldbank.org/en/country/srilanka/publication/sri-lanka-development-update-2025

ලෝක බැංකුව, දරිද්‍රතාව සහ සමානාත්මතාවය පිළිබඳ සංක්ෂිප්තය, 2023 අප්‍රේල්. ප්‍රවේශය:https://databankfiles.worldbank.org/public/ddpext_download/poverty/987B9C90-CB9F-4D93-AE8C-750588BF00QA/current/Global_POVEQ_LKA.pdf.

ලෝක ආහාර වැඩසටහන, කුටුම්භ ආහාර සුරක්ෂිතතා සමීක්ෂණය – 2024 දෙසැම්බර් – ශ්‍රී ලංකාව. ප්‍රවේශය:

https://www.wfp.org/publications/household-food-security-surveys-sri-lanka

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2019. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ අවසන් වාර්තාව. ප්‍රවේශය:http://www.statistics.gov.lk/IncomeAndExpenditure/StaticalInformation/HouseholdIncomeandExpenditureSurvey2019FinalReport.

වෙරිටේ රීසර්ච් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති කණ්ඩායම. ‘ටාගටින් අසිස්ටන්ස්: ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් ඉස් අ සුපීරියර් මෙතඩ් (Targeting assistance: electricity consumption is a superior method (2022)/ සහනාධාර අවශ්‍ය පරදි යොමු කිරීමට විදුලි පරිභෝජනය යොදා ගැනීම වඩා සාර්ථක ක්‍රමයකි (2022)’. (2022 ජූලි). ප්‍රවේශය:

https://www.veriteresearch.org/wp-content/uploads/2023/12/VR_EN_BN_Jul2022_Targeting-Assistance-Electricity-Consumption-is-a-Superior-Method.pdf

ලංකා විදුලිබල මණ්ඩලය. (2025 මැයි). ප්‍රවේශය:

https://www.pucsl.gov.lk/wp-content/uploads/2025/05/2025-05-21-Frm-CEB_Responses-to-information-requested-on-tariff-submission.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.