තොරතුරු පිරික්සීම
2026 ජනවාරි 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරන ලද අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ඉවත් කිරීමට කථානායකවරයාට ඍජු බලයක් නොමැති බැවින්, එවැනි විනය කරුණක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කළ යුතු බවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලදි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, (සංශෝධන සහිත) 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත, (සංශෝධන සහිත) 1953අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ විශ්ලේෂණය කරන ලදි.
ප්‍රකාශිත නෛතික විශ්ලේෂණයන්හි සඳහන් වන පරිදි, රට තුළ පවතින නීති හෝ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් ආවරණය නොවන අවස්ථාවන් සඳහා පමණක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පූර්වාදර්ශ සහ පරිචයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ඉඩකඩ පවතී (ජයසිංහ සහ පිරිස, 2019, පි. 57). එබැවින්, නියෝජ්‍ය මහලේකම්වරයෙකු ඉවත් කිරීම/වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් රට තුළ පවතින නීතිවල කිසිවක් සඳහන්ව නොමැති ද යන්න (එනම්, බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය යොදා ගැනීමේ අවශ්‍යතාව) පරීක්ෂා කරමින් FactCheck.lk හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇගයීමට ලක් කරන ලදි.
නියෝජ්‍ය මහලේකම්වරයෙකු වැඩ තහනමට ලක් කිරීමට හෝ ඉවත් කිරීමට ස්ථාවර නියෝග මගින් ක්‍රියාවලියක් ඉදිරිපත් කරනු ලැබේ ද?
නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා යටතේ වන කාර්ය මණ්ඩලයේ සේවය තහනම් කිරීම/අත්හිටුවීම හෝ සේවයෙන් ඉවත් කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටියක් දක්වන ප්‍රතිපාදන ස්ථාවර නියෝග තුළ FactCheck.lk හට හමු නොවීය.
නියෝජ්‍ය මහලේකම්වරයෙකු සේවයෙන් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ නීතිය තුළ යම් ක්‍රියාවලියක් පවතී ද?
ඔව්, එවැනි ක්‍රියාවලියක් පවතී. නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය තහනම් කිරීම/අත්හිටුවීම සහ සේවයෙන් ඉවත් කිරීම ඇතුළු විනය ක්‍රියාමාර්ග පාලනය කරන නිශ්චිත දේශීය ආඥාපනතක්—(සංශෝධන සහිත) 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත—මෙහිදී FactCheck.lk ට හමු විය (අතිරේක සටහන බලන්න).
ඒ අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතේ 7 වැනි වගන්තිය ඇතුළත් ප්‍රතිපාදන ප්‍රකාරව, එක් එක් මන්ත්‍රණ සභාවේ ලේකම්වරයාගේ (clerk) කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සේවය තහනම් කිරීම, දඬුවම් කිරීම සහ සේවයෙන් ඉවත් කිරිම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය, ජනාධිපතිවරයා හෝ කථානායකවරයා සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට යටත්ව ලේකම්වරයා වෙත පැවරී ඇති අතර, එම බලය 6 වැනි වගන්තිය යටතේ පනවන ලද දෙපාර්තමේන්තු රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් කියැවේ.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතේ භාවිතා කර ඇති පාරිභාෂිතය මුල් කාලීන පාර්ලිමේන්තු ව්‍යුහයක් පිළිබිඹු කළ ද, එය අවශ්‍ය වෙනස්කම් සහිතව (mutatis mutandis) වත්මන් රාමුවට අඛණ්ඩව අදාළ වේ. මෙම සන්දර්භය තුළ, “ලේකම්” යන පදය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අනුරූප වේ (මෙය පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේ 2 වැනි වගන්තියේ “ලේකම්” යන්න සඳහා ලබා දී ඇති අර්ථ නිරූපණයෙන් ද පැහැදිලි වේ).
කාර්ය මණ්ඩල උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර තම කාර්ය මණ්ඩලයේ සේවය තහනම් කිරීම, දඬුවම් කිරීම සහ සේවයෙන් ඉවත් කිරීම ඇතුළු විනය පාලන කටයුතු සඳහා දෙපාර්තමේන්තු චක්‍රලේඛ හෝ රෙගුලාසි පැනවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනතේ 6 වැනි වගන්තිය මගින් මහලේකම්වරයාට බලය පවරා ඇත.
සාරාංශයක් ලෙස, හිටපු අමාත්‍යවරයා සඳහන් කරන පරිදි ස්ථාවර නියෝග තුළ මෙම කරුණ පිළිබඳ සඳහනක් නොමැති වුව ද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විනය ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා රට තුළ නීතියක් පවතින බැවින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය යොදා ගැනීමේ විකල්පය මෙහිදී මතු නොවේ. එබැවින්, මෙම ගැටලුව විසඳීම සඳහා පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය මත යැපිය යුතු බවට හිටපු අමාත්‍යවරයා එළැඹ ඇති නිගමනය නිවැරදි නොවේ.
එබැවින්, අපි හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
*FactCheck.lk හි තීන්දුව පදනම් වී ඇත්තේ ප්‍රසිද්ධියේ ලබාගත හැකි වඩාත් මෑතකාලීන තොරතුරු මත ය. සෑම කරුණු පරීක්ෂාවකදීම මෙන්, නව තොරතුරු අනාවරණය වුවහොත්, FactCheck.lk මෙම ඇගයීම යළි සමාලෝචනය කරනු ඇත.
අතිරේක සටහන: “රාජ්‍ය නිලධාරීන්ට” අදාළ වන සහ රාජ්‍ය සේවා නියුක්තිය සහ විනය කටයුතු පිළිබඳ පොදු නීති පනවන ආයතන සංග්‍රහය ද මෙම කරුණු පිරික්සීම සඳහා සමාලෝචනය කරන ලදි. කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ I වැනි පරිච්ඡේදය යටතේ, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා යටතේ වන කාර්ය මණ්ඩලය “රාජ්‍ය නිලධාරීන්” ගණයට නොගැනේ.
මූලාශ්‍රය
ජයසිංහ, පී., රීඩ්, පී., සහ වෙලිකල, ඒ. (2019). පාර්ලිමේන්තුව: නීතිය, ඉතිහාසය සහ පරිචය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය.https://www.cpalanka.org/wp-content/uploads/2023/10/Parliament-Law-History-and-Practice.pdf
පාර්ලිමේන්තුවේ නීතිය, වරප්‍රසාද, කටයුතු සහ භාවිතය පිළිබඳ අර්ස්කින් මේ (Erskine May) ගේ නිබන්ධනය (25 වැනි සංස්කරණය, 2019)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයේ ආයතන සංග්‍රහය I වැනි කාණ්ඩය (2013)
(සංශෝධන සහිත) 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත
(සංශෝධන සහිත) 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග (2022 නොවැම්බර් දක්වා සංශෝධිත පරිදි)