අජිත් නිවාඩ් කබ්රාල්

රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ

"

මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ.ඩොලර් බිලියන 14 ක් ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්...

සන්ඩේ ඔබ්සර්වර් | පෙබරවාරි 28, 2021

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශයන් දෙකක් සිදුකරයි : 

  1. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නොවන ණය දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව පිළිබඳ චකිතයක් හෝ ආතතියක් හෝ ඇතිව සිටින බවට කිසිදු සලකුණක් නොපෙනේ.
  2. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළව වාර්ෂිකව සිදුකළ යුතු ආපසු ගෙවීම් ඇ.එ.ජ.ඩොලර් බිලියන 1 සිට 1.5 දක්වා මුදලක් වේ. එලෙස ආපසු ගෙවීම් සිදු නොකළහොත් එය ණය ගෙවීම පැහැර හැරීමක් ලෙස සැලකෙන අතර  එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සදහා බලධාරීන් විසින් මෙම මුදල ආපසු ගෙවිය යුතු වේ. 

ප්‍රකාශය 1: ණය නැවත ගෙවීමේ හැකියාව නැතිනම් ණය අවදානම සම්බන්ධයෙන් ති‌‌‌බෙන සැකසංකා, ණය දෙන්නවුන් විසින් ඉල්ලා සිටිනා පොලී අනුපාතික ඔස්සේ මෙන්ම ණය දීමට දක්වන කැමැත්ත ඔස්සේ තක්සේරු කළ හැක. ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගණයට අයත් නොවන ණයවලින්  වැඩි කොටසක් ඇත්තේ ශ්‍රී ලංකා රුපියල්වලිනි (සමස්ත ණය ප්‍රමාණයෙන්  53.5% ක්). සඳහා වන පොලී අනුපාතික ඉතාම අඩු අගයකට බැස ඇති අතර, ණය අවදානම පිළිබඳ ඇත්තේ සුළු සැකසංකාවක් බව ඉන් හැඟ වේ. කෙසේ නමුත්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගණයට අයත් නොවන ඉතිරි ණය සම්බන්ධයෙන් ගත් විට, නව ණය පොලී අනුපාතික සෑම විටම මහජනයාට විවෘත නොවීම නිසා (උදා: 2020 මාර්තුවේ ලබා ගත් CDB ණය), වාණිජ නොවන විදෙස් ණය (ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය) සඳහා ඇති ණය අවදානම තක්සේරු කිරීම කළ නොහැක්කකි. තවදුරටත් ගත් විට, සමස්ත ණය ප්‍රමාණයෙන් 3.3% ක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල (SLDB) පොලී අනුපාතික, 2020 ජනවාරි සිට 2021 ජනවාරි දක්වා කාලය තුළ සමස්තයටම බලපාන පරිද්දෙන් ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්වසර 2න් කල් පිරෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 5.79% සිට 6.92% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම කාලය තුළ වෙන්දේසි මගින් නිකුත් කෙරුණු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 54% ක් සඳහා ගැනුම්කරුවන් සිටියේ නැත. ණය අවදානම ඉහළ බවට වන හැඟීමක් පවතින බව මෙමගින් තව දුරටත් පෙන්නුම් කෙරේ.  

ප්‍රකාශය 2: ශ්‍රී ලංකාව 2021 සිට 2030 වන තුරු සෑම වසරකම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ මූලික මුදලේ ආපසු ගෙවීම් ලෙසින් ...ඩොලර් මිලියන 1,405 සාමාන්‍යයක් ගෙවිය යුතු අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ පරාසය තුළ පවතී. කෙසේ නමුත්, ණය ගෙවීම පැහැර හැර ඇති තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා මූලික මුදල නැවත ගෙවීමට අමතරව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා පොලී මුදලක්ද ගෙවිය යුතු බව මෙහිදී අමාත්‍යවරයා සැලකිල්ලට ගෙන නොමැත. අද වන විට, සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය කූපන් අනුපාතය (බැඳුම්කරයකට ගෙවන පොලී අනුපාතය) වන 6.64% යන අගය  මත පදනම්ව, නැවත ගෙවිය යුතු මූලික මුදලට අමතරව ශ්‍රී ලංකාව විසින් සෑම වසරකම සාමාන්‍යයක් ලෙස ...ඩොලර් මිලියන 933 පොලියක්ද ගෙවිය යුතු වේ. 

සමස්ත ණය හිමියන්ගෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය අවදානම සම්බන්ධයෙන් ආතතියක කිසිදු ලකුණක් නොපෙන්වන බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදුකරන පළමු ප්‍රකාශය සත්‍ය වේ. එනමුත්, ඊට අමතරව අනෙකුත් ණය හිමියන් වද වීමක හෝ ආතතියක  සලකුණක් නොපෙන්වන බව සනාථ කරගැනීමට නොහැකි කරුණකි. රාජ්‍ය අමාත්‍යවරයාගේ දෙවැනි ප්‍රකාශය තුළ ඔහු විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගිවිසුම් කඩ වීම වැළැක්වීම උදෙසා ගෙවිය යුතු පොලී ගෙවීම් සිය ගණනයට ඇතුළත් කොට නොමැති අතර, ඒ ඔස්සේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වන සමස්ත ණය වගකීම අඩුවෙන් දක්වා ඇත.     

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් නිවැරදි වේ යැයි අපි වර්ගීකරණය කරමු. 

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන්ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

 

 



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුව, 2020 දෙසැම්බර් 01 දින වන විට නොගෙවා පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_isb_as_at_01_december_2020_e.pdf 

ශ්‍රී ලංකා මහ බැංකුව, මාධ්‍ය නිවේදනයරජයේ සුරැකුම්පත්, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities 

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපතා ආර්ථික දර්ශක, 2021 මාර්තු 12, වගුව 3.2, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20210312_e.pdf  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.