මහින්ද රාජපක්ෂ

2018 නොවැම්බර් 25 වන දින දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක දී මහින්ද රාජපක්ෂ මහතා පහත දත්ත සඳහන් කරන ලදි

"

මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.

දෙරණ | නොවැම්බර් 25, 2018

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2018 නොවැම්බර් 25 වන දින දෙරණ රූපවාහිනි නාලිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක දී මහින්ද රාජපක්ෂ මහතා පහත දත්ත සඳහන් කරන ලදි:

1. තමන් ජනපති වී සිටි වසර නවය තුළ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක් විය;
2. එම කාලය තුළ රටෙහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි විය.

සිය ප්‍රකාශයෙහි රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද දත්ත නිවැරදි ද?

මෙහි සත්‍ය අසත්‍යතාවය විමසීම සඳහා අප කණ්ඩායම විසින් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙහි සපයා ඇති දළ දේශීය නිෂ්පාදිතයට (ද. දේ. නි.) අදාළ දත්ත පිරික්සා බලන ලදි.

ප්‍රකාශයට අදාළව මහ බැංකු වාර්තාවෙන් ලබා ගත් හා ගණනය කළ සියලු අගයන් 1 වගුවෙහි දක්වා ඇත.

වගුවෙහි A තීරයෙන් පෙන්වා දී ඇති දත්ත අනුව ගත් කළ රාජපක්ෂ මහතා සඳහන් කරන 2006 – 2014 කාලය තුළ ආර්ථිකයෙහි සාමාන්‍ය වර්ධන වේගය 6.4ක් වන අතර, ප්‍රකාශයෙහි සඳහන් වන පරිදි 7.4ක් නොවේ.

එබැවින් රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රකාශය සාවද්‍ය වේ.

අනතුරුව අප ඒ මහතාගේ ප්‍රකාශයෙහි දැක්වෙන ඒක පුද්ගල ආදායමට අදාළ තොරතුරු පිළිබඳව වැඩිදුර විමසා බැලුවෙමු.
නාමික ද. දේ. නි. ය (B තීරයෙන් දක්වා ඇති) නාමික ඒක පුද්ගල ආදායමෙන් (C තීරයෙන් දක්වා ඇති) බෙදීමෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජනගහනය පිලිබඳ අගයන් D තීරයෙහි සපයා ඇත. E තීරයෙන් අප දක්වා ඇත්තේ 2005 වසරේ මිලට සාපේක්ෂව අනෙකුත් වසරවල ද. දේ. නි. යි. මෙම අගය, පෙර ගණනය කළ ජනගහන අගයෙන් බෙදීමෙන් ලබා ගත් ඒක පුද්ගල ආදායම F තීරයෙන් දක්වා ඇත. එම දත්තවලට අනුව 2006 – 2014 දක්වා පොදු මහජනයාගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වී ඇත්තේ 1.65 ක ගුණයකින් පමණි.

මේ අනුව ගත් කළ රාජපක්ෂ මහතාගේ දෙවන ප්‍රකාශයද අසත්‍ය වේ.

වැඩිදුර කරුණු විමසා බැලුවහොත්, ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් වලින් ගත් විට නම් (H තීරයෙන් පෙන්වා දී ඇති පරිදි) 2006 – 2014 වසර තුළ එහි අගය 2.7ක ගුණයකින් වැඩි වී ඇතැයි කිව හැක. නමුත් ශ්‍රී ලාංකිකයින් භාණ්ඩ මිලදී ගන්නේ රුපියල් වලින් හෙයින් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව මැනීමට ඇමෙරිකානු ඩොලර් වලින් දැක්වෙන ඒක පුද්ගල ආදායම යෝග්‍ය මිනුම් දණ්ඩක් නොවේ.

මේ සියලු කරුණු සලකා බලා අප විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය “සාවද්‍ය” ලෙස නම් කර ඇත.

වගුව 1: ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවෙන් ප්‍රකාශයට අදාළව ලබා ගත්  හා ගණනය කළ දත්ත (2005-2014)

 



මූලාශ්‍රය