මෛත්‍රීපාල සිරිසේන

මන්දපෝෂණය සම්බන්ධයෙන් වූ දත්ත දැක්වීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන වැරදි බව කිව හැක.

"

අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අප කවුරුත් දන්නවා.

ලංකාදීප | ඔක්තෝබර් 18, 2018

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2018 ඔක්‍තෝබර් 18 දින ලංකාදීප පුවත්පත මගින් වාර්තා කළ ආකාරයට, ජනපති සිරිසේන විසින් පහත සඳහන් ප්‍රකාශය සිදුකර ඇත:

“අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව අප කවුරුත් දන්නවා.”

ජනපති සිරිසේන විසින් කළ මෙම ප්‍රකාශය නිවැරදිද?

ජනපතිගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය සනාථ කර ගැනීම උදෙසා අප විසින් මන්දපෝෂණය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සංඛ්‍යාලේඛනයන් කිහිපයක්ම පිරික්සා බලන්නට යෙදිණි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් මන්දපෝෂණය අර්ථ දක්වන්නේ, “කලින් නිශ්චය කොටගත් අවම තත්වයකට අඩුවෙන් ආහාර ඔස්සේ ශක්ති පරිභෝජනය කරනා සමස්ත ජනගහනයෙන් කොටසක්” ලෙසිනි. FAO සංවිධානය මගින් මෙය ගණනය කර ඇත්තේ වසර තුනක චල්‍ය සාමාන්‍යය ලෙසයි.

FAO වෙබ් අඩවියෙන් ලබාගත් දත්ත සඳහා 1 වගුව බලන්න.

1 වගුවෙහි දක්වා ඇති ආකාරයට, 2015-2017 කාලය තුළ  ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රතිශතය සාමාන්‍යයක් ලෙස සියයට 10.9කි. මෙය ජනපති විසින් සඳහන් කළ ප්‍රතිශතයට වඩා අඩු අගයකි. තවදුරටත් බැලූ විට දක්නට ඇත්තේ 2008 න් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන්නන්ගේ ප්‍රතිශතය 16-17% ක් වැනි ඉහළ අගයකට පත්ව නැති බවයි.

එම නිසා අපට ජනපතිගේ ප්‍රකාශය සාවද්‍ය ලෙසින් නම් කළ හැක.

මන්දපෝෂණය සම්බන්ධයෙන් අප තවදුරටත් දැනගත යුත්තේ කුමක්ද?

මන්දපෝෂණය (විශේෂයෙන්ම වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතර වන මන්දපෝෂණය) මැනීම සඳහා වෙනත් සම්මතයන්ද තිබේ.

යුනිසෙෆ් සංවිධානය (UNICEF) දරුවන් අතර මන්දපෝෂණය මැනීමේදී පහත දැක්වෙන කරුණු දෙස අවධානය යොමු කරයි:

-වයසට අනුව තිබිය යුතු නියම බර නොතිබීම;
-වයසට අනුව තිබිය යුතු උසට වඩා අඩු උසක් තිබීම (කුරු බව);
-උස අනුව සලකන විට අවදානම්කාරී ලෙසින් සිහින් වීම (කෙසඟත්වය);
-විටමින් හා ඛනිජ ලවණ ඌනතාවය.

ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් දක්වන ආකාරයට, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 21% ක් අඩු බරද, 15% ක් කෙසඟත්වයද, 17% ක් කුරු බවද දක්වයි.

The Global Hunger Index යන දර්ශකය මගින් විවිධ සාධකයන් කිරා මැන බැලීම තුළින් ගණනය කිරීම් සිදුකර සාගින්න මිනුම් කරන අතර, එම සාධකයන් භාවිතයෙන් රටවල් ශ්‍රේණිගත කරයි.

මෙහිදී සැලකිල්ලට ගනු ලැබෙනා සාධකයන් වන්නේ:

– මන්දපෝෂණය (FAO සංවිධානය මගින් නිර්වචනය කර ඇති ආකාරයට – එය ඉහත දක්වා ඇත);
– විටමින් හා ඛනිජ ලවණ ඌනතාවය දැක්වීමේ දර්ශකයක් ලෙසින් ගත හැකි වයස 5 ට අඩු මරණ සංඛ්‍යාව (මෙය ශ්‍රී ලංකාවේ 0.9 ක් වේ); සහ
-වයස 5 ට අඩු දරුවන්ගේ කුරුබව සහ කෙසඟ බව (ඉහත දක්වා ඇති පරිදි) වේ.

මෙම මිනුම්වලට අනුව, 2018 දී ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුළත් වීමට යෝග්‍ය වූ රටවල් 119 ක් අතුරින් 67 වන තැනට ශ්‍රේණිගත වී ඇත.

*FactCheck.lk හි තීරණය පාදක වී ඇත්තේ පොදු ජනයාට ලබා ගැනීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම, මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වුවහොත් FactCheck.lk හි ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ප්‍රතිශතය (වසර තුනක චල සාමාන්‍යය, 1999 – 2017)



මූලාශ්‍රය

  • එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඒකාබද්ධ සංඛ්‍යාලේඛන දත්ත සමුදාය (FAOSTAT), ශ්‍රී ලංකාව, http://www.fao.org/faostat/en/#country/38
  • ලෝක කුස්ගින්න දර්ශකය, ලෝක කුස්ගින්න දර්ශකය 2018 ප්‍රතිඵල, ශ්‍රී ලංකාව,https://www.globalhungerindex.org/sri-lanka.html
  • ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ප්‍රජාවිද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණ වර්තාව- 2016, පරිච්ඡේද අංක 11, http://www.statistics.gov.lk/social/DHS_2016a/Chapter11.pdf