තුෂාර ඉඳුනිල් අමරසේන

පා.ම. තුෂාර ඉඳුනිල් කියන තරමට උද්ධමනය වැඩි වී නැත

"

බොහෝ භාණ්ඩ හා සේවාවල මිල දරාගත නොහැකි ආකාරයකට ඉහළ ගියා. 2020 ට සාපේක්ෂව සියයට 300 න් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට තුන්ගුණයකින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ජනතාව, දරුවෝ රුපියල් 12 ට කාපු බිත්තරය රු. 60 ක්, 65 ක් දක්වා එකට පස්ගුණයක් ඉහළ ගියා.

පාර්ලිමේන්තුව | පෙබරවාරි 21, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

භාණ්ඩ හා සේවාවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබීම පිළිබඳව පැහැදිලි කරන පා.ම. තුෂාර ඉඳුනිල් පවසන්නේ 2020 වසරට සාපේක්ෂව ‘බොහෝ’ භාණ්ඩ හා සේවාවන්ගේ මිල තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි (නමුත්, තුන් ගුණයක වැඩිවීමක් යනු 300% වැඩිවීමක් නොව 200% වැඩිවීමකි). එමෙන්ම, විශේෂයෙන්ම බිත්තරවල මිල පස් ගුණයකින් වැඩි වී ඇති බව ඔහු පවසයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබන ‘තෝරාගත් පාරිභෝගික භාණ්ඩ සඳහා සතිපතා සිල්ලර මිල ගණන්: කොළඹ දිස්ත්‍රික්කය’, ‘කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI): උපකාණ්ඩ ඇසුරින් උද්ධමනය’ සහ මතුපිට උද්ධමනය යන දර්ශක මෙන්ම මහ බැංකුව විසින් පළ කරනු ලබන පිටකොටුවේ සිල්ලර මිල ගණන් පිළිබඳ විස්තර ද  පරිශීලනය කරන ලදි.

මෙම ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් ආහාර නොවන අයිතම, ආහාර සහ බිත්තරවල මිල ගණන් වැඩි වී ඇති ආකාරයඇගයීමට ලක් කරන ලදි (අතිරේක සටහන 1 බලන්න).

මතුපිට උද්ධමනය සහ ආහාර නොවන අයිතම: භාණ්ඩ හා සේවාවල මිල තෙුගුණයකින් වැඩි වූ බව පා.ම. ප්‍රකාශ කළ ද 2020 ට සාපේක්ෂව 2024 ජනවාරි වන විට මතුපිට උද්ධමනය වැඩි වී තිබුණේ ඊට වඩා අඩු ප්‍රමාණයකිනි (එහෙත් එය දෙගුණයකින් පමණ වැඩි වී තිබිණ). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට ආහාර නොවන කාණ්ඩ 11ක් ඇතුළත්ව තිබුණ ද, 2024 ජනවාරි වන විට, 2020 හා සසඳන විට ඒ කිසිවක් තුන් ගුණයකින් වැඩි වී තිබුණේ නැත.

ආහාර: එම කාලසීමාව තුළ ආහාර වර්ග 107 ට අදාළ සමස්ත සාමාන්‍ය සිල්ලර මිල ආසන්න වශයෙන් දෙගුණයකින් වැඩි වූ බවජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දේ. මෙම වර්ග 107 න්, තුන් ගණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් මිල ගණන් වැඩි වී තිබුණේ වර්ග 13 ක පමණි (වර්ග 50 ක මිල දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වී තිබිණි). මෙම ආහාර වර්ග 13එක්ව ගත් කළ උද්ධමනය ගණනය කිරීමට භාවිතා කරන පාරිභෝගික අයිතම පැසෙන් 1% කට වඩා අඩු ප්‍රතිශතයක් ගනී.

බිත්තර: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන අයුරින් බිත්තරයක සාමාන්‍ය මිල 2020 දී රු. 19.6 ක් වශයෙන් තිබී ඇති අතර එය 2024 දී රු. 52.3 දක්වා ඉහළ නැඟ 2.7 ගුණයක වැඩි වීමක් සටහන් කර තිබේ. එනම්, මෙය පා.ම. ප්‍රකාශ කළ පරිදි පස් ගුණයක වැඩිවීමක් නොවේ (අතිරේක සටහන 2 බලන්න).

මේ අනුව, 2020 සිට 2024 දක්වා කාලය තුළ ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති බව පා.ම. ප්‍රකාශ කළ ද එය සැබවින්ම වැඩි වී ඇත්තේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් බවත්, බිත්තරවල මිල වැඩි වී ඇත්තේ ප්‍රකාශ කළ පරිදි පස් ගුණයකින් නොව 2.7 ගුණයකින් බවත් ප්‍රසිද්ධියට පත් කර ඇති දත්තවලින් හෙළි වේ.

භාණ්ඩ හා සේවාවල මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ යාම ගැන විස්තර කරන පා.ම. එම ඉහළ යාම මහත් සේ වැඩි කොට දක්වයි. එනම්, දෙගුණයක වැඩිවීමක් ඔහු තුන් ගුණයක සහ පස් ගුණයක වැඩි වීමක් ලෙස ගෙන හැර දක්වයි.

එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන්:

  • 2020 වර්ෂයට අදාළ සාමාන්‍ය සිල්ලර මිල මට්ටම් ගණනය කිරීමේදී lk විසින් 2020 ජනවාරි සති හතරක දත්තවල සාමාන්‍යය සහ 2020 දෙසැම්බර් සති හතරක දත්තවල සාමාන්‍යය භාවිතා කරන ලදි (බොහෝ මිල ගණන් 2020 ජනවාරි සහ දෙසැම්බර් අතර පහත වැටිණි). අනතුරුව, මිල ගණන් වෙනස් වීමේ අනුපාතය ඇගයීම සඳහා මෙම අගය 2024 ජනවාරි සති හතරේ සාමාන්‍ය මිල මට්ටම් සමඟ සංසන්දනය කරන ලදි.
  • පිටකොටුවේ සිල්ලර මිල ගණන් පිළිබඳ දත්තවලට අනුව 2016 මෙන්ම 2017 දී ද දෙසැම්බර් 31 දින බිත්තරයක මිල සඳහා රු. 13 ට ආසන්න අගයක් සටහන්ව ඇති අතර එය 2023 ජනවාරි මාසයේ පළමු සතියේදී රු. 60 දක්වා වැඩි වී ඉන් අනතුරුව අඩු වී ඇත.එබැවින්, පා.ම. පැවසූ අයුරින් බිත්තර මිල පස් ගුණයකින් වැඩි වී ඇත්තේ වෙනත් කාල පරිච්ඡේදයකදීය.

 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

තෝරාගත් පාරිභෝගික භාණ්ඩ සඳහා සතිපතා සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/RetailPrices#gsc.tab=0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මූලික බර (2019) , ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලබා ගත හැකි නවතම දත්ත

http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/BaseWeights2021

උපකාණ්ඩ මත පදනම්ව කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලබා ගත හැකි නවතම දත්ත(2021=100) සහ (2013=100) . http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/ColomboConsumerPriceIndexby_Subgroups

http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/ColomboConsumerPriceIndexbySubgroups

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.