කංචන විජේසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකරට බැඳුම්කර ගනුදෙනුවලින් පාඩු ලැබූ පාර්ශවයන් හඳුනාගැනීමේදී වැරදෙයි

"

2005-2015 කාලය ඇතුළත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දෙන රුපියල් මිලියන 10,000 ක ‘පාඩුවෙන්’ 96% කට ආසන්න ප්‍රමාණයක් සැබවින්ම රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් තිබෙන අතර, ඒවා අතිශයින්ම ප්‍රතිලාභ ලබා තිබේ.

ඩේලි නිව්ස් | ජනවාරි 30, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2020 ජනවාරි 03 දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, 2002-2015 කාලය තුළ බැඳුම්කර ගනුදෙනු ඔස්සේ රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුවූ පාඩුවලින් 96% ක්ම රජයේ ආයතන වෙතටම එක්රැස් වූ බවත්, ඒ හෙයින් එම පාඩුවේ ප්‍රමාණාත්මකභාවය නිෂේධ වන බවත් වේ.

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව තක්සේරු කිරීම සඳහා, FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තා අංක 1 (වාර්තා පහකින්) විමසා බලන්නට යෙදිණි. මෙම වාර්තාව මගින් 2002 ජනවාරි මස 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම විමර්ශනය කෙරේ.

සෘජු මිලදී ගැනීම් (වෙන්දේසි නොව) ඔස්සේ විකුණූ බැඳුම්කරවලින් සිදුවූ පාඩු ලැබූ පාර්ශවයන් පමණක් මෙහි වාර්තා කර තිබිණ. ‘සෘජු මිලදී ගැනීම්’ යන යෙදුමෙන් අදහස් වන්නේ, ආයෝජකයින් වෙත බැඳුම්කර අත්පිටම ලබාදීමේ (උදා: වෙන්දේසියකින් තොරව) භාවිතාවයි. මෙම සෘජු මිලදී ගැනීම් ඔස්සේ සිදුවූ පාඩුව රුපියල් මිලියන 10,471 ක් ලෙස ඇස්තමේන්තුගතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, රජයේ ආයතනයන් නියෝජනය කරන්නේ උක්ත කී රුපියල් මිලියන 10,471 ක පාඩුවෙන්  34.22% කට පමණි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ එන 96% ක අගය පැමිණෙන්නේ සේවක අර්ථසාධක අරමුදල රජයේ ආයතනයක් ලෙසින් වරදවා ගණන් ගතහොත් පමණි. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල නම් කෙරී ඇත්තේ, විධිමත් රැකියාවන්හි නියැළෙන පෞද්ගලික පුරවැසියන්ට අයත් තනි ගිණුම් ලෙසයි. එසේ නොමැතිව එය රජයට අයත් බවට නොවේ. මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියාකරන්නේ පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදලේ පාලක සහ පරිපාලක ලෙසින් පමණි.

මේ අනුවම, සේවක අර්ථසාධක අරමුදලේ සියලුම මූල්‍යමය ලාභයන් මෙන්ම පාඩුවීම්ද ලබාගන්නේ එහි සාමාජිකයින් මිස රජය නොවේ. තවදුරටත්, සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය සාමාජිකයින් ලෙසින් ගණන් ගැනෙන්නේ සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි. මේ අතරතුර, ත්‍රීවීල් රියදුරන්ගේ සිට ඉදිකිරීම් කම්කරුවන් දක්වා අනියම් සේවකයින් දක්වා, කෘෂිකාර්මික අංශයේ සිට ධීවර කර්මාන්තය තුළ සිටිනා ශ්‍රමිකයන් දක්වා පරාසයක සිටින්නන්, ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රජාවෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක්, රැකියාවන්හි නියුක්ත නොවන්නන් සහ තම රැකියාවන්ගෙන් විශ්‍රාම ගිය වැඩිහිටි ප්‍රජාව සාමාජිකයින් නොවනා පිරිසට ඇතුළත් වේ.

තවදුරටත් කරුණු දක්වන්නේ නම්, මෙම ඇස්තමේන්තුගත පාඩුවෙන් 34.22% ක ප්‍රමාණයේ ගනුදෙනුවල එකම ප්‍රතිලාභ ලබන්නන් වන්නේ පුද්ගලික පාර්ශවයන් නොව රජයේ ආයතනයැයි ප්‍රකාශ කළ නොහැක (වෝහාරික විගණන වාර්තාවෙන් ලබාගැනීමට හැකි තොරතුරුවලට වඩා අමතර තොරතුරු නොමැතිව). මන්දයත්, රජයේ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් ලෙසින් පුද්ගලික පාර්ශවයන් වෙනුවෙන් ගනුදෙනු කළා වීමටද හැකි බැවිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් 2015 පෙබරවාරි බැඳුම්කර වංචාවේදී පාර්ලිමේන්තු කෝප් කමිටුව මගින් හඳුනාගන්නට යෙදුණේ, 60% ක පමණ වටිනාකමක ගනුදෙනුවල ප්‍රතිලාභ ලබන්නා වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් පුද්ගලික සමාගමක් බවත්, එම ගනුදෙනු එම සමාගම වෙනුවෙන් ගනුදෙනු කළ ලංකා බැංකුව මගින් සිදුකළ බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර විසින් ප්‍රකාශ කොට තිබුණේ, 2002-2015 කාලය තුළ බැඳුම්කර සෘජු මිලදී ගැනීම් හරහා රජයට වූ පාඩුවෙන් 96% ක ප්‍රමාණයක් රජයේ ආයතන වෙතටම එක්රැස් වූ බවත්, ඒ හෙයින් එම පාඩුවේ ප්‍රමාණාත්මකභාවය නිෂේධ වන බවත් වේ. ඉහතින් දක්වා ඇති ලෙසට මෙය දෙයාකාරයකින් සාවද්‍ය වේ. පළමුව, රාජ්‍ය ආයතන මගින් ගනුදෙනු කෙරී තිබුණේ අදාළ ඇස්තමේන්තුගත පාඩුවෙන් 34.22% ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පමණි (සේවක අර්ථසාධක අරමුදල රජයට අයත් නොවේ). දෙවනුව, සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු ආයතන මගින් සිදුකරනා ලෙසට මෙහිදී ද ඔවුන් පුද්ගලික පාර්ශවයන් වෙනුවෙන් ගනුදෙනු නොකළායැයි කීමට තොරතුරු නොමැත.

එනිසා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ප්‍රාථමික අලෙවිකරුවන් මගින් සෘජු මිලදී ගැනීම් ඔස්සේ භාණ්ඩාගාරයට සිදුවූ පාඩු

 



Additional Note

‘සෘජු මිලදී ගැනීම්’ ඔස්සේ රජයේ ආයතනයන්ට සිදුවූ ශුද්ධ ලාභය/පාඩුව ඇස්තමේන්තුගත කිරීම සම්බන්ධ ගැටළුව, මෙම කරුණු විමසීම මගින් ආමන්ත්‍රණය නොවේ. වෝහාරික විගණන වාර්තා අංක 1 මෙම විශ්ලේෂණයේදී භාවිතා වී ඇත්තේ, තුන්වෙනි පාර්ශවයන් රජයට ‘අඩුවෙන් ගෙවූ’ බවට තක්සේරු කෙරුණු ‘සෘජු මිලදී ගැනීම්’ නිශ්චය කිරීමට පමණි. වැඩිපුර ගෙවූ වෙනත් තුන්වෙනි පාර්ශවයන් (බොහෝ විට රජය මගින් කළමනාකරණය කෙරෙනා ආයතන) සම්බන්ධ වෙනත් ‘සෘජු මිලදී ගැනීම්’ද මෙහිදී තිබිය හැක. වෝහාරික විගණන වාර්තා අංක 1 හි මේවා ඇගයුම් වී නොමැත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, භාණ්ඩාගාර බැඳුම්කරවලින් සේවක අර්ථසාධක අරමුදලේ සිදුවූ ප්‍රාථමික හා ද්විතීයික වෙළඳ ගනුදෙනු විමර්ශනය කරනා විගණන වාර්තා අංක 2 හි සඳහන් කෙරෙන්නේ බැඳුම්කර වටිනාකමට වඩා වැඩියෙන් ගෙවා අඩු ප්‍රතිලාභ අනුපාතයකට බැඳුම්කර මිලදී ගැනීමෙන් සේවක අර්ථසාධක අරමුදලට ශ්‍රී ලංකා රුපියල් මිලියන 9,047 ක පාඩුවක් සිදුවූ බවයි. එනිසා, සෘජු මිලදී ගැනීම් ප්‍රමාණයකින් සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 6,417 ක් ලබාගෙන තිබුණත්, ප්‍රාථමික වෙළෙඳපොලේ තවත් සෘජු මිලදී ගැනීම් හා වෙන්දේසි ඔස්සේ එයට රුපියල් මිලියන 9,047 ක අලාභයක්ද වී තිබේ.


මූලාශ්‍රය

  • බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනය, වාර්තාව 1 (2019 නොවැම්බර්), පිටු. 23, 24, 25, 148, වාර්තාව 1 සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4]
  • බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර ඔස්සේ සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ප්‍රාථමික හා ද්විතීයික වෙළඳ ගනුදෙනු පිළිබඳ විමර්ශනය, වාර්තාව 2 (2019 නොවැම්බර්), පි. 29, වාර්තාව 2 සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයන් සෙවීම සඳහා විශේෂ කමිටුවක් ලෙසින් ක්‍රියා කරනු ලැබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව, පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 109. (2016 ඔක්තෝබර්), පි. 29, ප්‍රවේශය මෙතැනින්:https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf#page=1 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, 1965 අංක 18 පනතෙහි, 1970 අංක 16 පනතෙහි, 1971 අංක 8 පනතෙහි සහ 1971 අංක 24 පනතෙහි සංශෝධනයන් සහිතව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල පනතප්‍රවේශය මෙතැනින්:http://www.epf.lk/assets/library/amendments/act_of_1958.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 4].