ලක්ෂ්මන් කිරිඇල්ල

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතින් ශ්‍රී ලංකාව පා.ම. කිරිඇල්ල කියන තරම් මන්දගාමී නැහැ

"

ලෝකයේ කිසිම රටක් මේ වගේ අවුරුදු දෙකහමාරක් debt restructuring කෙරු‌වේ නැහැ...හැම රටක්ම එක අවුරුද්දකින්, අවුරුදු එකහමාරකින් ඉවර කළා.

පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 22, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

(අ) ලෝකයේ වෙනත් කිසිදු රටකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවට ගත වූ තරම් කාලයක් (අවුරුදු 2.5) ගත නොවූ බවත් (ආ) සෑම රටක්ම එය වසර 1.5ක් ඇතුළත සම්පූර්ණ කළ බවත් පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදි. මෙම ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සිද්ධි ඇතුළත් වඩාත් සවිස්තරාත්මක දත්ත සමුදාය (ක්‍රිස්ටොෆ් ට්‍රෙබේෂ් පළ කරන ලද පත්‍රිකාවක් සමඟ සම්බන්ධිත) සහ වෙරි‌ටේ රිසර්ච් ආයතනය විසින් එයට එක් කරන ලද යාවත්කාලීනකිරීම්පරිශීලනය කර ඇත.

ණය ආපසු ගෙවීම අත්හිටුවන ලද දිනය සහ ණය හුවමාරුව සම්පූර්ණ කිරීමේ දිනය අතර කාලය ලෙස පතිව්‍යුහගත කිරීම සඳහා ගත වන කාලය ගණනය කෙරේ. පා.ම. කිරිඇල්ල මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම අත්හිටුවා වසර 2.1ක් ගතවී තිබිණ. පා.ම. වසර 2.5 ක කාලරාමුවක් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට (සාධාරණව) ඉදිරියේදී ගන්නා කාලය ද ඇතුළත්ව බවට මෙහිදී FactCheck.lk විසින් එම කරුණ ඇගයීමට ලක් කරන ලදි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මන්දගාමී ක්‍රියාවලියක් වශයෙන් සිදු වී ඇති බව ඒ පිළිබඳ ඉතිහාසය සැලකීමේදී පෙනී යයි. එහෙත්, ඊට අදාළ පද්ධති සහ ව්‍යුහයන් පරිණාමය වීමත් සමඟ මෙම ක්‍රියාවලිය වේගවත් වී ඇත. ඉහත සඳහන් දත්තවලට අනුව:

  • 1975 සහ 1995 අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සිද්ධි 156 ක් වාර්තා වී ඇති අතර, එහිදී ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට ගත වූ කාලය සාමාන්‍යයෙන් වසර 3.7 කි.
  • 1995 සහ 2015 අතර, සිද්ධි 28 ක් වාර්තා වී ඇති අතර, සාමාන්‍යයක් ලෙස අවුරුදු 1.4 ක් ගත වී ඇත.
  • 2015 සහ 2020 අතර, සිද්ධි 9 ක් වාර්තා වී ඇති අතර, සාමාන්‍යයක් ලෙස වසර 1.1 ක් ගත වී ඇත.

2014 සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සිද්ධි 15 න් (ශ්‍රී ලංකාව හැර) 3 ක් සඳහා වසර 2.5 ක් හෝ ඊට වැඩි කාලයක් ගත වී ඇති බවත්, වසර 1.5 ක් ඇතුළත එය සම්පූර්ණ කර ඇත්තේ සිද්ධි 10 කදී පමණක් බවත් අංක 1 වගුව පෙන්වා දේ.

පා.ම. විසින් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ මෑත වර්ෂයන් අදහස් කරමින් යැයි සැලකුව ද එය කරුණු දෙකක් හේතුවෙන් නිවැරදි නොවේ: එනම්, වසර 1.5 ක් ඇතුළත ප්‍රතිව්‍යුගත කිරීම සම්පූර්ණ කර ඇත්තේ සිද්ධි අතරින් 66% ක් පමණක් වන අතර 20% දී වසර 2.5 ක් හෝ ඊට වැඩි කාලයක් ගත වී තිබේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතරේක සටහන 1: 2024 ජූනි 26 වැනි දින ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ මෑත ඉතිහාසයේ වෙනත් කිසිම රටක් මෙවැනි කාලසීමාවක් තුළ ‘සුවිශේෂී ජයග්‍රහණයක්’ ලබාගෙන නොමැති බවයි. මෙම කරුණ ද නිවැරදි නොවන බව පෙන්වීමට FactCheck.lk විසින් ඉහත සඳහන් දත්තයන්ම භාවිතා කරන ලදි.  ණය ප්‍රතිව්‍යුහගත කිරිම අතින් ශ්‍රී ලංකාව මන්දගාමීම හෝ වේගවත්ම රට නොවේ. එහෙත්, පසුගිය වසර 10 තුළ සිදු කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීමේ සිද්ධීන් අතරින් වැඩිම කාලයක් ගත් 25% අතර එය සිටී.

අතිරේක සටහන 2: IMF සංවිධානයේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට එළැඹි දිනයේ සිට ගත වූ කාලය ඇසුරින් ගණනය කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලසීමාව පිළිබඳ දත්ත IMF සංවිධානය විසින් පළ කරනු ලැබේ. එම කාලසීමාවන් ඇසුරින් පවා ශ්‍රී ලංකාව ඒ සඳහා ගෙන ඇති කාලයසම්බන්ධයෙන් එම ප්‍රතිඵලයම පෙන්නුම් කරයි: එනම්, එය වැඩිම කාලයක් ගත් රට නොවන නමුත් වඩාත් ඉක්මණින් ඒ වෙත එළැඹි රටක් ද නොවේ. නමුත්, IMF ගිවිසුමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රටවල්වලට හැකියාව ඇති බැවින් ද, ණය ගෙවීම අත්හිටුවීමට පෙර ද IMF සංවිධානය සමඟ ගිවිසුමකට එළැඹීමට හැකි බැවින් ද මෙය සම්මත මිනුමක් නොවේ.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 

අංක 1 වගුව: ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට ගත වූ කාලය

* ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදුවෙමින් පවතින අතර මෙම කාලසීමාව 2024 මැයි මස අවසානයට අදාළව ගණනය කර ඇත.



මූලාශ්‍රය

Asonuma , Tamon and Christoph Trebesch (2016): “Sovereign Debt Restructurings: Preemptive or Post-Default”, Journal of the European Economic Association Vol 15(1), Pages 175-214 (අසනුමා, ටේමන් සහ ක්‍රිස්ටොෆ් ට්‍රෙබේෂ් (2016): “ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම: පැහැර හැරීමට පෙර හෝ  පසු”, Journal of the European Economic Association වෙළුම 15 (1), පිටු අංක 175-214)

Cruces, Juan and Christoph Trebesch (2013): “Sovereign Defaults: The Price of Haitrcuts “, American Economic Journal: Macroeconomic (කෲසස්, හුඅන් සහ ක්‍රිස්ටොෆ් ට්‍රෙබේෂ් (2013): “ස්වෛරීත්ව ණය ගෙවීම පැහැර හැරීම්: ණය කපා හැරීමේ පිරිවැය”, American Economic Journal: Macroeconomic) ( ඔබ අමතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ලක්‍ෂණ (ණය කපා හැරීමේ ප්‍රමාණය, ප්‍රතිව්‍යුහගත කළ ප්‍රමාණයන් ආදිය) භාවිතා කරන්නේ නම් සහ ඊට සම්බන්ධ දත්ත වෙත ප්‍රවේශය: https://sites.google.com/site/christophtrebesch/data )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.