තොරතුරු පිරික්සීම
තම ජනාධිපති ධුර කාලය තුළ (2005-2014) (1) වසර නවයක් පුරා අඛණ්ඩව ආර්ථික උත්පාතයක් වාර්තා වූ බවත්, (2) ණය ගෙවීමේ කිසිදු දුෂ්කරතාවයක් නොතිබූ බවත් පා.ම. මහින්ද රාජපක්ෂ විසින් සඳහන් කරන ලදි.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා, IMF සංවිධානයේ ලෝක ආර්ථික දැක්ම 2024 (world economic outlook 2024) සහ IMF සංවිධානයේ 2009 වසරට අදාළ කාර්ය මණ්ඩල වාර්තාව පරිශීලනය කර ඇත.
පළමු කරුණ (1): කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ඊට පෙර කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ සාමාන්‍ය වර්ධනය ඉක්මවා යන ස්ථාවර වර්ධනයක් වාර්තා වූයේ නම් එවැනි කාලපරිච්ඡේදයක් ‘ආර්ථික උත්පාතයක්’ ලෙස පුළුල්ව වටහා ගත හැක. 1995 සිට 2004 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) සාමාන්‍ය වර්ධන වේගය 5.1% ක් විය. 2005 සිට 2014 දක්වා කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වර්ධන වේගය 6.6% ක් විය. සාමාන්‍ය වර්ධන වේගය මේ අයුරින් සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කිරීම මගින් 2005-2014 දක්වා කාලය තුළ ‘ආර්ථික උත්පාතයක්’ ඇති වූ බවට සිදු කළ ප්‍රකාශය තහවුරු කෙරේ (අතිරේක සටහන 1 බලන්න).
දෙවැනි කරුණ (2): හේතු දෙකක් මත මෙම කරුණ දත්ත මගින් තහවුරු නොවේ.
පළමුව, ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තත්ත්වය “ප්‍රතිකර්මක පියවර නොගන්නා පසුබිමක් තුළ… තිරසර නොවන” බව IMF සංවිධානයේ 2009 වසරට අදාළ කාර්ය මණ්ඩල වාර්තාවෙහි සඳහන්ව තිබිණි. පසුව, ශ්‍රී ලංකාව 2009 දී සංවිධානය සමඟ සමීපස්ථ ණය පහසුකමක් (stand-by-agreement) සඳහා ගිවිසුමකට එළැඹුණු අතර, ණය කළමනාකරණය කිරීමේදී ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව ඉන් පෙනී යයි (අතිරේක සටහන 2 බලන්න). පා.ම. රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ණය කළමනාකරණය කිරීමේ දුෂ්කරතා මතු වූ බවට මෙම කාර්ය මණඩල වාර්තාව සහ සමීපස්ථ ණය පහසුකම පිළිබඳ ගිවිසුම සාක්ෂි දරයි .
දෙවනුව, ණය ගෙවීමට ඇති දුෂ්කරතාවයේ අඩු වීමක් යනු අවම වශයෙන් ආර්ථික දර්ශක දෙකක අඛණ්ඩ පහත වැටීමක් හෝ ස්ථාවරත්වයක් වශයෙන් හඳුනා ගැනීමට ආර්ථික විද්‍යාඥයෝ නැඹුරු වෙති. ( i ) පොලී පිරිවැය සහ ආදායම අතර අනුපාතය (අයවැය මත ණය සේවාකරණයේ පීඩනය පිළිබිඹු කරයි), සහ (ii) ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය (රටේ ණය බර පෙන්නුම් කරයි) එම දර්ශක දෙක වේ.
මෙම දර්ශක මගින් ද ඉහත දෙවැනි කරුණ තහවුරු නොවන ආකාරය අංක 1 වගුව සහ අතිරේක සටහන් 3 සහ 4 පැහැදිලි කරයි. පුළුල්ව ගත් විට, IMF වැඩසටහනට එළැඹීමට පෙර එම දර්ශක දෙකෙන් එකක් හෝ දර්ශක දෙකම හෝ මත ණය පීඩනය වැඩි වී ඇති අතර, වැඩසටහන අතරවාරයේදී එය පහළ බැස හෝ ස්ථාවරව තිබී, වැඩසටහන අවසන් වූ පසු නැවතත් වැඩි වී ඇත.
ඉහත දර්ශකවල පවතින අස්ථාවරත්වය සහ 2009 දී IMF වැඩසහනකට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වීම මගින්, ණය ආපසු ගෙවීම පහසු වූ බවට නැඟූ තර්කය දුර්වල කෙරේ.
සාරාංශයක් ලෙස, 2005-2014 කාලපරිච්ඡේදය තුළ ආර්ථික උත්පාතයක් වාර්තා වූ බවට පා.ම. සඳහන් කළ කරුණ දත්ත මගින් තහවුරු කෙරේ; නමුත් ණය ගෙවීමේ දී “කිසිදු දුෂ්කරතාවයක්“ නොතිබූ බවට සඳහන් කළ කරුණ දත්ත මගින් තහවුරු නොවේ.
එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අතිරේක සටහන 1 : මෙහිදී සලකා බැලෙන කාල සීමාව තුළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2009 සහ 2013 දී ඓතිහාසික සාමාන්‍යයට වඩා පහත වැටී තිබූ බව අංක 1 වගුව පෙන්වයි. මෙම සංඛ්‍යා දෙක, ඉහළ සාමාන්‍යයක් වාර්තා වූ වසර 10 ක කාල පරිච්ඡේදයක් තුළ වාර්තා වූ ව්‍යතිරේක දෙකක් පමණක් වන බැවින් ද, මෙම ව්‍යතිරේකයන් ඍණාත්මක වර්ධනයන් නොවූ බැවින් ද, ‘අඛණ්ඩ‘ ආර්ථික උත්පාතයක් පිළිබඳ ප්‍රකාශය නිවැරදි බවට නිගමනය කිරීමට එය බාධාවක් නොවන බවට අප විසින් මෙහිදී සලකා ඇත.
අතිරේක සටහන 2: සෘණ වෙළඳ ශේෂයන් සහ ණය ආපසු ගෙවීමට අදාළ පීඩනය හේතුවෙන් පැන නඟින ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දෙන රටවල් සඳහා සාමාන්‍යයෙන් සමීපස්ථ ණය පහසුකමක් (stand-by-arrangement) හරහා කෙටිකාලීනව මූල්‍ය ආධාර සපයනු ලැබේ .
අතිරේක සටහන 3: පොලිය සහ ආදායම අතර අනුපාතය 2005-2008 සිට ක්‍රමානුකූලව ඉහළ ගොස් 2009 දී 44.3% ක් වූ උච්චතම අගය වාර්තා වූ බව අංක 1 වගුව පෙන්නුම් කරයි. IMF වැඩසටහන අතරතුර, 2009-2011 දක්වා කාලය තුළ මෙම අනුපාතය අඩු වී ඇති නමුත් 2012 දී එය නැවත ඉහළ ගොස් ඇත. අනතුරුව එය 2012-2013 දක්වා කාලය තුළ ඉහළ ගොස් ඇති අතර 2014 දී නැවත 37.1% දක්වා අඩු වී තිබේ.
අතිරේක සටහන 4: IMF වැඩසටහනට පෙර 2005-2007 දක්වා කාලය තුළ රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය අඩු වී ඇති නමුත් 2012-2014 දක්වා කාලය තුළ, එනම්, IMF වැඩසටහනෙන් පසු කාලසීමාව තුළ එය නැවත ඉහළ යාමට පටන් ගත් බව අංක 1 වගුව පෙන්නුම් කරයි. 2008-2011 දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළව රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය සඳහා සංඛ්‍යාලේඛන නොමැති වීම හේතුවෙන් මෙම කරුණු පරීක්ෂාව සිදු කිරීමට මෙම කාල සීමාවට අදාළ මධ්‍යම රජයේ ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය භාවිතා කරන ලදි. මෙම අනුපාතය 2008-2009 දක්වා ප්‍රතිශත ලකුණු 4.7 කින් වැඩි වී ඇත. 2009-2012 දක්වා කාලය තුළ IMF වැඩසටහන අතරතුර මෙම අනුපාතය අඛණ්ඩව අඩු වී ඇති නමුත් එම වැඩසටහනින් පසුව 2013-2014 දක්වා කාලය තුළ එය නැවත ඉහළ යාමට ආරම්භ වී ඇත.
මධ්‍යම රජයේ ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතයට වඩා රාජ්‍ය ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය මගින් යම්කිසි රටක ණය බර වඩාත් නිවැරදිව නිරූපණය වන බැවින්, මෙම කාලසීමාවට අදාළ සියලුම දත්ත ලබා ගැනීමට හැකියාවක් නොමැති වුව ද මධ්‍යම රජයේ ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය මෙම ඇගයීම සඳහා යොදා ගෙන ඇත. මින් පෙර සිදු කරන ලද කරුණු පිරික්සීම් මගින් ද මෙම වෙනස ඉස්මතු කර ඇත ( https://factcheck.lk/factcheck/mp-rajapaksa-misrepresents-past-reduction-of-debt-burden බලන්න ) .
අංක 1 වගුව: සාර්ව ආර්ථික දර්ශක (2005 – 2014)
ලාශ්‍ර: මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ IMF සංවිධානය
මූලාශ්‍රය
රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා, ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports .
මුදල් අමාත්‍යාංශය, 2014 වාර්ෂික වාර්තාව, ප්‍රවේශය: https://www.treasury.gov.lk/api/file/33f4533e-3106-4496-86b3-73f696652e05 .
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ‘ IMF Country Report No. 09/310, Sri Lanka(විවිධ රටවල් පිළිබඳ IMF වාර්තා 09/310, ශ්‍රී ලංකාව)‘, නොවැම්බර් 2009, ප්‍රවේශය: https://www.imf.org/external/pubs/ft/scr/2009/cr09310.pdf
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, World Economic Outlook (ලෝක ආර්ථික දැක්ම) දත්ත සමුදාය 2024, ප්‍රවේශය: https://www.imf.org/external/datamapper/NGDP_RPCH@WEO/OEMDC/ADVEC/WEOWORLD