ෂෙහාන් සේමසිංහ

ආදායම ඉහළ නැංවීමේ අභියෝගය ගැන ශෙහාන් සේමසිංහගේ ප්‍රකාශය නිවැරදියි

"

[රාජ්‍ය ආදායම] 2024 වසරේදී සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයක් වී තිබුණේ නැහැ.

Iroma TV | ඔක්තෝබර් 21, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ඉහත ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක සහ 2023 වසරට අදාළ වාර්ෂික වාර්තාව පරිශීලනය කරන ලදි. අයවැයෙහි දක්වා ඇති හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළ 13.1% ක ඉලක්කයට ප්‍රදාන ද ඇතුළත් වේ. එබැවින්, “ආදායම” යන්නට ප්‍රදාන ද ඇතුළත් බවට FactCheck.lk විසින් මෙහිදී සලකන ලදි.

ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කර ඇත්තේ සම්පූර්ණ වසර සඳහා නොව මාස නවයක් සඳහා පමණි. ඓතිහාසික වශයෙන්, පළමු මාස නවය සඳහා දළ දේශීය නිෂ්පාදිතය මත ආදායමේ ප්‍රතිශතය සම්පූර්ණ වර්ෂය සඳහා වූ ප්‍රතිශතයට වඩා මඳක් අඩු අගයක් ගෙන ඇති බව පෙනෙන්නට ති‌බේ (අංක 1 ප්‍රස්තාරය බලන්න).

එබැවින්, හිටපු පා.ම.ගේ ප්‍රකාශය ඇගයීම සඳහා FactCheck.lk විසින් මතු සඳහන් පදනම් නිර්ණායකය සකසා ඇත: 2024 පළමු මාස නවය තුළ දළ දේශීය නිෂ්පාදිතය මත ආදායමේ ප්‍රතිශතය ඒ සඳහා පනවා ඇති වාර්ෂික ඉලක්කය සපුරාලන්නේ ද? නැතහොත්, එය ඉක්මවන්නේ ද? එය එසේ නම්, ඉහත සඳහන් කළ ඓතිහාසික රටාව මත පදනම්ව වාර්ෂික ඉලක්කය සපුරා ගැනීම “[සැලකිය යුතු] අභියෝගයක් නොවන්නේ” යැයි සැලකිය හැකි බව සාධාරණ ලෙස නිගමනය කළ හැක.

ශ්‍රී ලංකාව 2024 පළමු මාස නවය තුළ රුපියල් බිලියන 22,176 ක දළ දේශීය නිෂ්පාදිතයකට සාපේක්ෂව රුපියල් බිලියන 2,928 ක ආදායමක් රැස් කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස පළමු මාස නවය සඳහා දළ දේශීය නිෂ්පාදිතය මත ආදායමේ ප්‍රතිශතය 13.2% කි. වාර්ෂික ඉලක්කය 13.1% කි. මෙයින් පෙන්නුම් කරන්නේ පළමු මාස නවය තුළ දළ දේශීය නිෂ්පාදිතය මත ආදායමේ ප්‍රතිශතය ඉහත විස්තර කර ඇති පදනම් නිර්ණායකය ඉක්මවා ගොස් ඇති බවයි. ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතය මත ආදායමේ වසර අවසාන ප්‍රතිශතය අයවැයෙහි සඳහන් 13.1% ක ඉලක්කය සපුරාලනු හෝ ඉක්මවා යනු හෝ ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ වේ.

එබැවින්, FactCheck.lk හිටපු පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 ප්‍රස්තාරය: රැස් කර ඇති මුළු ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස (පළමු මාස නවයට එදිරිව සම්පූර්ණ වර්ෂය)



මූලාශ්‍රය

සතිපතා දර්ශක, ශ්‍රී ලංකා මහ බැංකුව

වාර්ෂික වාර්තාව 2023, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.