කෙහෙලිය රඹුක්වෙල්ල

අමාත්‍ය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් නැති ගෞරවයක් ලබාගන්නට තැත් කරයි

"

[කොවිඩ්-19] එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සම්බන්ධයෙන් ගත් විට, ඊයේ දිනය [ජනවාරි 01] වන විට, අපි ලෝකයේ 4 වෙනි ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් [සඳහා එන්නත ලබාදීමෙන්] විදියට, අපි ලෝකේ රටවල් 194 කින් 4 වෙනි ස්ථානයට පත් වෙලා තිබෙනවා.

ඩේලි මිරර් ඔන්ලයින් | ජනවාරි 2, 2022

false

වැරදියි

තොරතුරු පිරික්සීම

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk මගින්, කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World in Data – OWID) වෙබ් අඩවියේ දත්ත පරිශීලනය කර ඇත. 

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එන්නත ලබාගැනීමට යෝග්‍ය ජනගහනය, ශ්‍රී ලංකාවේ නම් වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් වේ. ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණ වන්නේ, අඩු තරමින් කොවිඩ්-19 එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 16 ට වැඩි ජනගහනය ප්‍රතිශතයක් ලෙසින් ගත් විට, ශ්‍රී ලංකාව ලෝකයේ 4 වෙනි ස්ථානයේ පසුවන බවයි. 

රටවල සමස්ත ජනගහනය ඔස්සේ හෝ වයස අවුරුදු 14 ට වැඩි ජනගහනය ඔස්සේ ගත් විට හෝ, ගෝලීය වශයෙන් සංසන්දනයක් කිරීමට මෙහිදී හැකියාව තිබේ. අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විට (ජනවාරි 1, 2022), ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 85.25% ක් එන්නත් කොට තිබිණි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 64.41% ක් වේ. මෙම අවස්ථාව වන විට, සමස්ත ජනගහනය සැලකූ විට ලෝකයේ වෙනත් රටවල් 56 ක් ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය සිදුකර තිබූ අතර, වයස අවුරුදු 16 ට වැඩි ජනගහනය සැලකූ විට, අඩු තරමින් ලෝකයේ රටවල් 45 ක් හෝ ශ්‍රී ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයකින් කොවිඩ්-19 සඳහා එන්නත්කරණය සිදුකර තිබිණි. වයස අවුරුදු 14 ට වැඩි ජනගහනයේ වැඩි ප්‍රතිශතයක් එන්නත් කොට තිබීමෙන්ම වයස අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ද අවිවාදයෙන්ම එන්නත් කොට ඇති බව ගම්‍ය වීම, මෙම නිශ්චයට පැමිණීමට පදනම විය. 

රටේ සමස්ත ජනගහනය ගත් විට මෙන්ම වයස අවුරුදු 16 ට වැඩි ජනගහනය ගත් විටද, කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට අදාළව ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 5 අතර ශ්‍රී ලංකාව නොසිටින අතරම, ඒ සම්බන්ධයෙන් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 45 අතරට හෝ පැමිණ නැත.  

ඒ අනුව, අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි අපි ප්‍රකාශ කරමු.  



මූලාශ්‍රය

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World In Data), සංඛ්‍යාලේඛන හා පර්යේෂණ, කොරෝනාවෛරසය, එන්නත්කරණ දත්ත සමුදාය, ප්‍රවේශය:   https://github.com/owid/covid-19-data/tree/master/public/data/vaccinations  [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

අවර් වර්ල්ඩ් ඉන් ඩේටා (Our World In Data), සංඛ්‍යාලේඛන හා පර්යේෂණ, පුළුල්ව වයස් කාණ්ඩ අනුව ජනගහනය, ප්‍රවේශය: https://ourworldindata.org/grapher/population-by-broad-age-group?country=~OWID_WRL  [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණයේ ප්‍රගතිය [2022 ජනවාරි 1 වන විට], ප්‍රවේශය: https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2022-01_01.pdf [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9]. 

ශ්‍රී ලංකා රජයේ කොවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයේ නිල වෙබ් අඩවිය, එන්නත් සංඛ්‍යාලේඛන, දිස්ත්‍රික්ක අනුව එන්නතකරණ සාරාංශය, ප්‍රවේශය: https://covid19.gov.lk/vaccination-statistics.html [අවසන් වරට ප්‍රවේශය: 2022 පෙබරවාරි 9] 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.