රංජිත් මද්දුම බණ්ඩාර

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිවැරදි වේ

"

වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා.

දිනමිණ | මැයි 15, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 මැයි 15 දින දිනමිණ පුවත්පත මගින් වාර්තා කරනු ලැබුවේ, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් උක්ත ප්‍රකාශය සිදු කළ බවටයි.

පළමුවෙනි රූප සටහන මගින් පෙන්වන්නේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ, හදිසි අනතුරු ලෙසින් දියට වැටීමෙන් සහ දියේ ගිලීමෙන් සිදුවූ බවට වාර්තා වන වාර්ෂික මරණ සංඛ්‍යාවයි. මේ, FactCheck.lk කණ්ඩායමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) ඔස්සේ ලබාගැනීමට තිබූ නවතම ප්‍රකාශිත දත්ත වේ. FactCheck.lk කණ්ඩායමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් (RGD) හෝ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) හෝ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයෙන් හෝ වඩාත් මෑතකාලීන දත්ත ලබාගැනීමට නොහැකි විණි.

මෙම ලබාගෙන ඇති දත්ත අනුව, 2010-2014 යන වසර පහක කාලය තුළ හදිසි අනතුරු ලෙසින් දියට වැටීමෙන් සහ දියේ ගිලීමෙන් සිදුවූ බවට වාර්තා වන මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 813 ක් වේ. එසේම 2012-2014 වසර තුන ගත් විට එම මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 786 ක් වේ. අමාත්‍යවරයා විසින් ඔහුගේ ප්‍රකාශයේ දියෙහි ගිලීමෙන් මරණ සිදුවන සංඛ්‍යාව එක් විශේෂ වසරකට ලඝු කොට නොදක්වන නමුත්, එය වාර්ෂික සංඛ්‍යාවක් ලෙසින් ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් වඩාත් මෑතකාලීන -එනම් 2015 න් පසු- දත්ත නොමැති නමුත්, 2010-2014 වසර පහ තුළ ප්‍රකාශිත දත්ත ඉහතාකාරයෙන් සලකා බලන විට එය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා සැසඳේ.

එනිසා අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් ලෙසින් කාණ්ඩගත කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

අමතර තොරතුරු

2008-2017 සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත වැදගත් සංඛ්‍යාලේඛන වාර්තාව මගින්ද 2010 සහ 2013 සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති සංඛ්‍යාවන්ම දක්වන නමුත්, එතැනින් පසු වසර කිහිපය සඳහා සංඛ්‍යාලේඛන ලබාගැනීමට නොමැත.

“Global Report on Drowning: Preventing a Leading Killer” යන මැයෙන් යුතුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2014 වසරේදී නිකුත් කරනු ලැබූ වාර්තාවේ, දියේ ගිලීමේ සංඛ්‍යාවන්ට අනුව ශ්‍රී ලංකාව රටවල් 61 ක් අතුරින් 12 වෙනි ස්ථානයට වැඩිම දියේ ගිලීම් වාර්තා වන රට ලෙසින් සහ අවම-ආදායම් හා මධ්‍යම-ආදායම් සහිත රටවල් 35 ක් අතරින් ශ්‍රී ලංකාව 10 වෙනියට වැඩිම දියේ ගිලීම් වාර්තා වන රට ලෙසින් ශ්‍රේණිගත කෙරී ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකාව සඳහා මෙම වාර්තාව මගින් භාවිතා කොට ඇත්තේ 2006 වසරේ දත්ත වන අතර, එම වසරේ දියේ ගිලීම් මගින් සිදුවූ මරණ ලෙසින් ලබාදී ඇති සංඛ්‍යාව 932 ක් වේ.

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින්, Life Saving Victoria පදනම හා එක්ව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව 2014 වසරේ දෙසැම්බරයේදී නිකුත් කළ දියේ ගිලීම් සම්බන්ධ තවත් වාර්තාවක් වේ. මෙම වාර්තාව මගින් දැක්වෙන ආකාරයට 2001 සිට 2006 සහ 2009 දක්වා දියේ ගිලීම් මගින් සිදුවී ඇති මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 855 කි. මෙම වාර්තාව මගින්ද පසුකාලීනව පැමිණී වසර කිහිපය සඳහා සංඛ්‍යාලේඛනයන් ගෙනහැර නොදක්වයි.

1 වෙනි රූපසටහනදියට වැටීමෙන් හා දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව



මූලාශ්‍රය