ජී.එල්. පීරිස්

අමාත්‍ය ජී.එල්.පීරිස් නිවැරදියි: 19 වෙනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිට පැහැදිලි බලයක් තිබුණි.

"

නව ජනාධිපතිවරයෙකු පත් වූ විට පාර්ලිමේන්තුව විසුරුවා තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වන පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාව අතරට යාමේ බලය 19 වැනි සංශෝධනයට පෙර ජනපතිට තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් කළා. වසර හතර හමාරක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් තිබේ නම් පමණක්...

ලංකාදීප | අගෝස්තු 10, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය ඇගයුම් කිරීම උදෙසා, FactCheck.lk විසින් 19 වෙනි සංශෝධනයට පෙර මෙන්ම පසු ව්‍යවස්ථාවන්හි 70 වෙනි ව්‍යවස්ථාවෙහි විධිවිධාන කෙසේ වේදැයි පරිශීලනය කරන්නට යෙදිණි.

යටකී ව්‍යවස්ථාවන්හි එන විධිවිධානයන් සරලව කියැවූ විට මෙසේ වෙයි:

19 වෙනි සංශෝධනයට පෙරාතුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලයට වූ එකම අවහිරය වූයේ, ජනපති විසින් ඉන් පෙර පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම මීළ පාර්ලිමේන්තුව තේරී පත් වූ විට පමණි. එම අවස්ථාවේදී පවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිට තිබු එකම බාධාව වූයේ, තේරී පත්වූ දිනයෙන් පසු වසරක් යනතුරු පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වීමයි. මෙම සීමාසහිත අවහිරය පවා, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ජයගැනීමට හැකියාව තිබිණි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිට මේ සඳහා ඇති බාධාව වැඩි කොට තිබේ. එනම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් විසින් ඉල්ලීමක් කරන්නේ නම් හැරෙන්නට, පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමෙන් පසු වසර හතරහමාරක් යන තුරු ජනපතිට එය විසුරුවා හැරීමට නොහැකි වේ.

මෙසේ ව්‍යවස්ථා පාඨයන් සරලව කියවා බැලීමේදී පෙනී යන්නේ, ජනපතිවරයාට නව පාර්ලිමේන්තුවක් පත් වීමෙන් දිනකට පසුව වුවත් එය විසුරුවා හැර නව මැතිවරණයක් ඉල්ලා සිටීමට සැබවින්ම බලතල තිබුණු බවය. 19 වෙනි සංශෝධනය මගින් එම බලතල කප්පාදු කර තිබේ.*

එනිසා, අමාත්‍ය ජී.එල්.පීරිස්ගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි පවසමු.

*සටහන: මෙම ප්‍රකාශය පිළිබඳව ඇගයුම් කිරීමේදී, අමාත්‍ය පීරිස් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනපතිට ඇති ‘බලය’ ලෙසින් සඳහන් කොට ඇත්තේ, ජනපතිගේ තනි අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාවය (එනම්, යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින්ම එය විසුරුවා හැරීමට ඉල්ලීමෙන් බැහැරව තම බලය භාවිතා කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම) යන පදනම ඔස්සේ FactCheck.lk මගින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.

**FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

නිදර්ශකය 1: පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති බලය

 



මූලාශ්‍රය

  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th.pdf.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, දහඅට වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව, 70 ව්‍යවස්ථාව: ප්‍රවේශය: https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-18th.pdf.