මධුර විතානගේ

අඩු කරන ලද ආදායම් ඉලක්ක අනුව පා.ම මධුරගේ ප්‍රකාශය නිවැරදියි

"

විශේෂයෙන්ම 2024 වසරේ පළමුවන මාස හයේදී බදු ආදායම රුපියල් බිලියන 1700 කින් ඉහළ ගියා, ඒ කියන්නේ 42.6% ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7%ක වර්ධනයකට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා..ඒ වාගේම බදු නොවන ආදායම 30.4% න් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා.

පාර්ලිමේන්තුවේදී | අගෝස්තු 7, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2024 පළමු මාස හය තුළ, ( i ) බදු ආදායම රුපියල් බිලියන 1,700 කින් ඉහළ ගොස් ඇති බවත්, එනම්, 42.6% කින් වර්ධනය වී වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7% ක් උපයා ගෙන ඇති බවත්, (ii) බදු නොවන ආදායම 30.4% කින් ඉහළ ගොස් වාර්ෂික ඉලක්කයෙන් 52.7% ක් උපයා ගෙන ඇති බවත්, පා.ම මධුර විතානගේ විසින් ප්‍රකාශ කරන ලදි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක, මුදල් අමාත්‍යාංශයේ 2024 ට අදාළ අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු සහ 2024 ට අදාළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පරිශීලනය කරන ලදි.

බදු ආදායම: 2024 පළමු භාගයේ දී එකතු කරන ලද බදු ආදායම රුපියල් බිලියන 1,709 ක් වූ අතර එය 2023 එම කාලයට සාපේක්ෂව 42.6% ක වැඩිවීමක් බව අංක 1 වගුව පෙන්වා දෙයි. මෙම අගය 2024 සඳහා ඇස්තමේන්තුගත වාර්ෂික බදු ආදායම වූ රුපියල් බිලියන 3,820 න් 44.7% ක් වන අතර එය පා.ම.ගේ ප්‍රකාශය සමඟ සමපාත වේ.

බදු නොවන ආදායම: පොලී ආදායම, කුලී, දඩ, ගාස්තු, ගෙවීම්, සහ රජය සතු ව්‍යවසායවලින් ලැබෙන ලාභ සහ ලාභාංශ ඇතුළු මූලාශ්‍රවලින් රජයේ බදු නොවන ආදායම සමන්විත වේ. 2023 මුල් භාගයේදී රුපියල් බිලියන 116 ක් වූ මෙම ආදායම 2024 මුල් භාගයේදී රුපියල් බිලියන 151 දක්වා 30.4% කින් වර්ධනය වී ඇත. මෙය 2024 සඳහා අයවැයෙහි අනුමත කර තිබූ රුපියල් බිලියන 324 ක ඇස්තමේන්තුවෙන් 46.7% කි. මෙම අගය පා.ම. බදු නොවන ආදායම සඳහා සඳහන් කළ ඉලක්කයට වඩා අඩු සංඛ්‍යාවකි. වාර්තා කර ඇති එම ඉලක්කය මුදල් අමාත්‍යාංශය විසින් පසුව රුපියල් 287 බිලියන දක්වා අඩු කර සංශෝධනය කරන ලද බැවින් පා.ම. ඊට අදාළ ප්‍රතිශතය උපුටා දක්වා ඇත්තේ එලෙස අඩු කරන ලද ඉලකක්කය මත පදනම්ව ය. පා.ම. විසින් 52.7% ක වඩා ඉහළ ප්‍රතිශතයක් සඳහන් කිරීමට මෙම කරුණ හේතු වී තිබේ.

එබැවින්, එකතු කරන ලද බදු නොවන ආදායම අනුමත අයවැයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට පා.ම.ගේ ප්‍රකාශය සමඟ සමපාත නොවුණ ද, එය ඔහු උපුටා දක්වන රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් සංශෝධිත සංඛ්‍යාවලට අනුකූල වේ.

එම නිසා, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: රජයේ බදු සහ බදු නොවන ආදායම (රු. බිලියනවලින්)



මූලාශ්‍රය

ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක; මුදල් අමාත්‍යාංශයේ 2024 අදාළ අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු

මුදල් අමාත්‍යාංශයේ 2024 ට අදාළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.