හර්ෂ ද සිල්වා Harsha de Silva

වියදම මත 13% සීමාව ගැන හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි

"

මධ්‍ය කාලීන මූල්‍ය රාමුව කියල ඒ කොටසෙම තියෙනව, ප්‍රාථමික වියදම දළ දේශීය නිශ්පාදනයෙන් 13% කට අපි සීමා කරන්න ඕන. ඒ [ආදායම] වැඩි උනාට ඒ ආදායම අපිට වියදමට පාවිච්චි කරන්න බෑ. මොකද ගරු අනිල් ජයන්ත ඇමතිතුමා අත්සන් කරපු IMF ඇග්‍රීමන්ට් එකේ වැඩ බලන මුදල් ඇමති හැටියට, ඔහු පිළිගන්නවා අපි 13% තමයි රජය විසින් වි

පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | ජූනි 30, 2025

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තුවේදී පා.ම. හර්ෂ ද සිල්වා විසින් සඳහන් කරන ලද මූලික කරුණු දෙකකි. එම කරුණු දෙක නම්: (1) ආදායම වැඩි වන විටදී පවා වියදම සීමා වන අයුරින් ප්‍රාථමික වියදම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට සීමා කර ඇති බව; සහ (2) ඔහු පවසන පරිදි වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද බව කියන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF සංවිධානය) සමඟ මෑතකදී අලුත් කරන ලද ගිවිසුම‌ හේතුවෙන් මෙම වත්මන් සීමාව පැනවුණු බව.

මෙම කරුණු තහවුරු කර ගැනීම සඳහා FactCheck.lk විසින් රාජ්‍ය මූල්‍ය උපායමාර්ග ප්‍රකාශයෙහි පළ කර ඇති මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුව (Medium-Term Fiscal Framework), ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපි (Letters of Intent) සහ 2024 අංක 19 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත පරීක්ෂා කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ නිල වශයෙන් ඉටු කිරීමට එකඟ වූ කරුණු මෙම අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපි මගින් දක්වා ඇත.

පළමු කරුණ: මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය රාමුව මගින් ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක අගයකට සීමා කර ඇත. වඩාත් වැදගත් කරුණ නම්, 2024 ජූනි මාසයේදී සම්මත කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 15(1) වගන්තිය මගින් මෙම 13% සීමාව නීත්‍යනුකූලව අනිවාර්ය කර තිබීමයි. එබැවින්, එවැනි සීමාවක් පවතින බවටත්, ආදායම වැඩි වුව ද රජයට සිදු කළ හැකි වියදම් එමගින් වර්තමානයේදී සීමා කෙරෙන බවටත් පා.ම. සඳහන් කළ කරුණ නිවැරදි වේ.

දෙවැනි කරුණ: මෙම 13% සීමාව සඳහා වූ අවශ්‍යතාව සොයා බැලීම සඳහා FactCheck.lk විසින් පා.ම.ගේ ප්‍රකාශය සිදු කළ දින දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ලද, 2023 මාර්තු, 2023 දෙසැම්බර්, 2024 ජූනි සහ 2025 මාර්තු දිනැති අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපි හතරම පරීක්ෂා කරන ලදි. මෙම ලේඛන කිසිවක ප්‍රාථමික වියදම සඳහා 13%ක සීමාවක් නියම කර නොතිබිණි. එබැවින්, 13% සීමාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ නිල අවශ්‍යතාවක් වූ බවට (අතිරේක සටහන 1ට යටත්ව) කිසිදු සාක්ෂියක් නොමැත.

වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිල නොවන මට්ටමේ එකඟතාවක් තිබුණේ නම් වුව ද, එය වත්මන් රජයට පෙර පැවතිය යුත්තකි. මෙම 13%ක සීමාව, 2024 ජූනි මස රනිල් වික්‍රමසිංහ රජය යටතේ නීතියට ඇතුළත් කරන ලද්දකි. ඒ අනුව, මෙම නෛතික ප්‍රතිපාදනය ඉටුකිරීමට වත්මන් රජය මේ අවස්ථාවේදී බැඳී සිටින අතර, පවතින නීතියෙන් ඔබ්බට ගිය නව එකඟතාවක් හෝ බාහිරව පනවන ලද එකඟතාවක් හෝ එමගින් පිළිබිඹු නොකෙරේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: 13%ක සීමාවක් නීත්‍යනුකූලව අනිවාර්ය කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) නීතියක් 2023 දෙසැම්බර් මාසය වන විට හඳුන්වා දීම පිළිබඳ සැලැස්මක් 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කරන ලද අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපියෙහි සඳහන්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ පූර්ව කාර්යයක කොටසක් බවට පත් වූ මෙම පනත් කෙටුම්පත, 2024 ජූනි මාසයේදී නීතියක් ලෙස සම්මත විය.

අතිරේක සටහන 2: වියදම සඳහා වූ මෙම 13% සීමාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමට පෙර ස්වාධීන විශ්ලේෂකයින්ගේ විවේචනයට ලක් වූවකි (වැඩි විස්තර මෙතැනින්). කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කළේය.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය උපායමාර්ගය, මුදල් අමාත්‍යාංශය. https://www.treasury.gov.lk/web/fiscal-strategy/section/fiscal%20strategy%20in%20the%20medium%20term

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, පාර්ලිමේන්තුව.https://www.parliament.lk/uploads/acts/gbills/english/6352.pdf

අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 2025 මාර්තු:https://www.imf.org/en/Publications/CR/Issues/2025/03/03/Sri-Lanka-Third-Review-Under-the-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-562827

අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 2024 ජූනි:https://www.imf.org/en/Publications/CR/Issues/2024/06/13/Sri-Lanka-2024-Article-IV-Consultation-and-Second-Review-Under-the-Extended-Fund-Facility-550261

අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 2023 දෙසැම්බර්:https://www.imf.org/en/Publications/CR/Issues/2023/12/12/Sri-Lanka-First-Review-Under-the-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-542441

අභිප්‍රාය ප්‍රකාශ කරන ලිපිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 2023 මාර්තු:https://www.imf.org/en/Publications/CR/Issues/2023/03/20/Sri-Lanka-Request-for-an-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-Press-531191

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.