තොරතුරු පිරික්සීම
2025 මාර්තු 31 වන විට පැවති සමස්ත ණය ප්‍රමාණයට අදාළ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් පා.ම. එස්.එම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී ගොඩනඟන ලද වඩා පුළුල් තර්කය වනුයේ වියදමට සහ ණය සේවාකරණ පිරිවැයට සාපේක්ෂව වර්තමාන රජයේ ණය ගැනීම “තේරුම් කළ නොහැකි තරම් ඉහළ” බවයි (“මේ තරම් ණය ගන්නේ මොකක්ද කියන එක තමයි අපිට පැහැදිලි නැත්තේ”).
එබැවින්, FactCheck.lk විසින්, මෙම පුළුල් කරුණෙහි ඇතුළත් අංග දෙකක් ඇගයීමට ලක් කෙරේ: එනම්, (1) ණය ප්‍රමාණයට අදාළව උපුටා දක්වන ලද දත්ත නිවැරදි ද යන්නත්, (2) 2025 පළමු කාර්තුව තුළ වියදම් සහ ණය සේවාකරණ අවශ්‍යතාවලට සාපේක්ෂව රජයේ ණය ගැනීම “තේරුම් කළ නොහැකි තරම් ඉහළ” ද යන්නත්, යන අංග දෙක මෙම කරුණු පිරික්සීම මගින් ඇගයීමට ලක් කෙරේ.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනවල (Quarterly Debt Bulletins)ඇතුළත් දත්ත, සහ 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ කාර්තුව තෙක් කාලසීමාවට අදාළ රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව සමාලෝචනය කරන ලදි. මෙහිදී නව පරිපාලනය යටතේ පැවති පළමු සම්පූර්ණ කාර්තුව ලෙස 2025 වසරේ පළමු කාර්තුව (Q1) තෝරා ගන්නා ලදි.
පළමු කරුණ: දත්තවල නිරවද්‍යතාවය සැලකූ විට, 2025 පළමු කාර්තුවට අදාළ කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනයට අනුව, 2024 දෙසැම්බර් මස අග වන විට සටහන්ව ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් 106,166 මිලියනයකි. 2025 මාර්තු මාසයට අදාළ සමස්ත ණය ප්‍රමාණය උපුටා දැක්වීමේදී පා.ම. විසින් දෙසැම්බර් මාසයට අදාළ සමස්ත ණය ප්‍රමාණය භාවිතා කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත්, ඔහු විසින් රජයේ ණය (එ.ජ.ඩොලර් 102,671 මිලියන) සහ රජය සතු ව්‍යවසායයන්හි ණය (එ.ජ.ඩොලර් 4,831 මිලියන) යනුවෙන් වෙන් වෙන්ව උපුටා දක්වන ලද සංඛ්‍යා (එකතුව එ.ජ.ඩොලර් 107,519 මිලියනයකි) 2025 මාර්තු මස අගට අදාළව වාර්තා කර ඇති සංයුතියට සහ එකතුවට ගැලපේ (අංක 1 වගුව බලන්න).
දෙවැනි කරුණ: රජයේ ණය ගැනීම තේරුම් කළ නොහැකි තරම් ඉහළ බවට වන පුළුල් තර්කය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් 2025පළමු කාර්තුව තුළ රජය සැබවින්ම ලබා ගත් ණය ප්‍රමාණය එම කාර්තුව සඳහා අදාළ දළ මූල්‍යන අවශ්‍යතා (Gross Financing Needs) සමඟ සසඳන ලදි. රජය සැබවින්ම ණයට ගෙන ඇති මුදල දළ මූල්‍යන අවශ්‍යාතවලට වඩා වැඩි නම්, ඉන් අදහස් කරනු ලබන්නේ වියදම් සහ ණය සේවාකරණ සඳහා එම අවස්ථාවේදී අවශ්‍ය වූ ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් රජය විසින් ලබා ගෙන ඇති බවයි.
2025 පළමු කාර්තුව තුළ රජය සැබවින්ම ණයට ලබා ගෙන ඇති මුදල රුපියල් බිලියන 690 ක දේශීය ණය ප්‍රමාණයකින් ද, රුපියල් බිලියන 210 ක විදේශීය ණය ප්‍රමාණයකින් ද සමන්විත වන අතර එහි එකතුව රුපියල් බිලියන 900 කි (ගණනය කිරීම් සඳහා අතිරේක සටහන 1 බලන්න). එම කාලය තුළ දළ මූල්‍යන අවශ්‍යතාවල වටිනාකම රුපියල් බිලියන 498 කි (ගණනය කිරීම් සඳහා අංක 2 වගුව බලන්න).
මෙම පදනම මත, 2025 පළමු කාර්තුව තුළ රජය සැබවින්ම ණයට ගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 402 කින් දළ මූල්‍යන අවශ්‍යතා ඉක්මවා ගොස් ඇත. එබැවින්, 2025 පළමු කාර්තුව තුළ වියදම් සහ ණය සේවාකරණ සඳහා එම අවස්ථාවේදී අවශ්‍ය වූ ප්‍රමාණයට වඩා වැඩි මුදලක් රජය විසින් ණයට ගෙන ඇත.
කෙසේ වෙතත්, එම අතිරික්ත ණය ගැනීම පා.ම. පැවසූ පරිදි තේරුම් ගත නොහැකි තත්ත්වයක් නොවේ. රජයේ රාජ්‍ය ණය ප්‍රතිමූල්‍යනය කිරීමේ හෝ පූර්වමූල්‍යනය කිරීමේ අරමුණින් කලින් ණය මුදල් ලබා ගෙන ස්වාරක්ෂකයන් (buffers) පවත්වා ගැනීමට 2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ 3 වැනි වගන්තිය මගින් රජයට අවසර දී ඇත. පෙර මූල්‍ය වර්ෂය අවසානයේ දී ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයෙන් 10% දක්වා වූ ස්වාරක්ෂකයන් ගොඩනැඟීමට එකී පනතේ 3 වැනි වගන්තිය මගින් රජයට අවසර දී ඇත. 2024 දෙසැම්බර් මාසයේ අග මධ්‍යම රජයේ ණය තොගයට සාපේක්ෂව 2025 පළමු කාර්තුව තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය 1.4% ක් පමණක් වන අතර, එය ස්වාරක්ෂකයන් සඳහා අවසර ලත් මට්ටම තුළ පවතී. එබැවින්, ණයට ගත් මුදල් ප්‍රමාණය එම අවස්ථාවේ පැවති මූල්‍යන අවශ්‍යතාවයන් ඉක්මවා ගිය ද, එම අතිරික්ත ණය ප්‍රමාණය අවසර ලත් පූර්වමූල්‍යන ස්වාරක්ෂක මට්ටම් ඇතුළත පිහිටයි.
සාරාංශයක් ලෙස, පළමු කරුණ සැලකූ විට, පා.ම. විසින් දෙසැම්බර් මාසයට අදාළ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය, මාර්තු මාසයේ රජයට සහ රජය සතු ව්‍යවසායයන්ට (SOE) වෙන් වෙන් වශයෙන් අදාළ වන ණය මුදල් සමඟ සම්බන්ධ කර ඇති බව පෙනේ. දෙවැනි කරුණ සැලකූ විට, 2025 පළමු කාර්තුව තුළ සැබවින්ම ණයට ගන්නා ලද මුදල එම අවස්ථාවේදී පැවති දළ මූල්‍යන අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබුණ ද, සක්‍රීය වගකීම් කළමනාකරණ පනත මගින් ස්වාරක්ෂකයන් පවත්වා ගැනීම සඳහා ලබා ගැනීමට අවසර දී ඇති ණය ප්‍රමාණය සැලකිල්ලට ගත් විට, එය පා.ම. පැවසූ ආකාරයට තේරුම් කළ නොහැකි තත්ත්වයක් නොවේ.
එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: ණය ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන්

මූලාශ්‍ර: කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනය – 2025 පළමු කාර්තුව
අංක 2 වගුව: 2025 පළමු කාර්තුව සඳහා දළ මූල්‍යන අවශ්‍යතා ගණනය කිරීම

මූලාශ්‍රය: 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වන පළමු කාර්තුව දක්වා රජයේ මූල්‍ය කාර්ය සාධනය
අතිරේක සටහන 1
2025 පළමු කාර්තුව තුළ සැබවින්ම ණයට ගෙන ඇති මුදල පහත සූත්‍රය ඇසුරින් ගණන කරනු ලැබේ:
සැබවින්ම ලබා ගත් ණය මුදල = 2025 පළමු කාර්තුව අවසානයේ පැවති ණය තොගය + විනිමය අනුපාත සැලකිල්ලට ගත් පසු 2025 පළමු කාර්තුව ආරම්භයේදී පැවති ණය තොගය + 2025 පළමු කාර්තුවේ ණය ආපසු ගෙවීම්

- දේශීය ණය තොගයට භාණ්ඩාගාර බිලපත් සහ භාණ්ඩාගාර බැඳුම්කර අයත් වේ.
- 2024 දෙසැම්බර් 31 දිනය වන විට එ.ජ.ඩොලර් 1 = රු. 292.5833 වශයෙන් පැවති විනිමය අනුපාතය.
- 2025 මාර්තු 28 දිනය වන විට එ.ජ.ඩොලර් 1 = රු. 296.3472 වශයෙන් පැවති විනිමය අනුපාතය.
- මධ්‍යම රජයේ ණය සඳහා ණය ආපසු ගෙවීම්.
- 2025 පළමු කාර්තුව තුළ සැබවින්ම ලබා ගෙන ඇති විදෙස් ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 710 කි. 2025 මාර්තු 28 වැනි දින එ.ජ.ඩොලර් 1 = රු. 296.3472 වශයෙන් පැවති විනිමය අනුපාතය යොදා ගනිමින් මෙය රුපියල් බිලියනවලට හරවා ඇත.
මූලාශ්‍රය
මුදල් අමාත්‍යාංශය, කාර්තුමය සංඛ්‍යානමය ණය ප්‍රකාශනය – 2025 පළමු කාර්තුව.
https://www.treasury.gov.lk/api/file/b1b863d2-0919-4218-9bc9-0c79a2cfc4ff
මුදල් අමාත්‍යාංය, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වන පළමු කාර්තුව දක්වා රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව
https://www.treasury.gov.lk/api/file/d26ffb14-ab4a-4580-90b7-75f670578f93
2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනත