Budget Check 2024

FactCheck.lk විසින් වාර්ෂිකව පවත්වනු ලබන #BudgetCheck, සිව් වැනි වරට 2023 නොවැම්බර් 23 දින පවත්වන ලදි. එහිදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සඳහා ඉදිරිපත් කළ අයවැය කතාවෙහි ඇතුළත් ප්‍රකාශයන් 8 ක් සඳහා අප කණ්ඩායම විසින් කරුණු පිරික්සීම් සිදු කරන ලද අතර, එයින් ප්‍රකාශයන් හයක් නිවැරිදියි යනුවෙන් ද, ප්‍රකාශයන් දෙකක් වැරදියි යනුවෙන් ද වර්ගීකරණය කරන ලදි. කරුණු පිරික්සීම් සිදු කරන ලද ප්‍රකාශයන් මෙන්ම ඒ පිළිබඳ විස්තර, නිගමනයන් සහ අදාළ මූලාශ්‍ර සඳහා පහත ලිපිය කියවන්න.  

කරුණු පිරික්සීම 1:

ජනවාරි 2024 දක්වා තවදුරටත් මුදල් සම්පාදනය කර ගැනීමට නොහැකි යැයි යනුවෙන් ජනාධිපතිගේ ප්‍රකාශය අර්ථකථනය කළහොත් එය නිවැරදි වේ.

සම්පූර්ණ කරුණු පිරික්සීම මෙතැනින්: https://bitly.ws/ZPvC


කරුණු පිරික්සීම 2:

2022 සඳහා ලබා ගත හැකි අවසාන වාර්ෂික සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ වැටුප් සහ වේතන සඳහා බදු ආදායමෙන් 55% ක් වැයවෙන බවයි. කෙසේ වෙතත්, මෙම අගය 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා 36% දක්වා අඩු වී ඇත.


කරුණු පිරික්සීම 3:

පාලනයට අදාළ IMF වාර්තා මගින් මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, සැම්බියාව සහ වෙනත් රටවල් කිහිපයක් ආවරණය කෙරේ – ආසියානු රටවල් කිසිවක් මෙතෙක් මෙමගින් ආවරණය වී නැත. IMF සංවිධානයේ එම ඇගැයීමට භාජනය වූ ප්‍රථම ආසියානු රට ශ්‍රී ලංකාව වේ.

මේ පිළිබඳව අප මීට පෙර සිදු කළ කරුණු පිරික්සීම මෙතැනින්: https://bit.ly/3smVEdL


කරුණු පිරික්සීම 4:

රජයේ ආදායම 2023 පළමු මාස 6 තුළ 50% කින් ද, පළමු මාස 9 තුළ 51% කින් ද ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව පළ කරන ලද වාර්තා පෙන්වා දේ.


කරුණු පිරික්සීම 5:

2023 පළමු මාස 6 තුළ රු. බිලියන 30.72 ක ප්‍රාථමික අතිරික්තයක් ඇති බවට රජය පළ කර වාර්තාව ජනාධිපතිවරයා විසින් මෙහිදී උපුටා දක්වා ඇත. එනමුත්, මෙම අගය වරදවා දැක්වූ අගයක් ලෙස පසුව හඳුනා ගන්නා ලදි.

හිඟ වියදම් (ගිණුමෙහි සඳහන් නොකර ඇති වියදම්) පවත්වා ගෙන යාමෙන් වැළකී සිටීමේ වගකීම සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව සැප්තැම්බර් මාසයේදී සිදු කරන ලද IMF සමාලෝචනයේදී පෙන්වා දෙන ලදි. සත් වැනි මාසයේ අග, එනම්, ප්‍රාථමික අයවැය අතිරික්තයක් සාක්ෂාත් කරගත් බවට වාර්තා කිරීමෙන් මසක් ගත වූ තැන, ප්‍රාථමික හිඟය රු. බිලියන 27.41 වූ බවට වාර්තා කිරීමෙන් මේ බව තහවුරු වේ.


කරුණු පිරික්සීම 6:

ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම්වලට අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීමේදී, 2017 සිට ශ්‍රී ලංකාව පෙන්වා ඇත්තේ අඩු සංවර්ධිත රටවල සාමාන්‍ය ප්‍රගතියටත් වඩා අඩු ප්‍රගතියක් බව එම පහසුකම්වලට අදාළ දත්ත ගබඩාව ඇසුරින් පෙනී යයි.

ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය (2017 – ජූනි 2023)

ශ්‍රී ලංකාව – 31.5%

අඩු සංවර්ධිත රටවල සාමාන්‍ය – 41.4%

වෙළඳ පහසුකම්වලට අදාළ ක්‍රියාමාර්ග අතරින් බාහිර උපකාර නොමැතිව ක්‍රියාවට නැංවීමට නොහැකි යැයි ශ්‍රී ලංකාව පවසන ක්‍රියාමාර්ගවල ප්‍රතිශතය ද අඩු සංවර්ධිත රටවල සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගනී.

බාහිර උපකාර අවශ්‍ය ක්‍රියාමාර්ග (%):

ශ්‍රී ලංකාව – 69.3%

අඩු සංවර්ධිත රටවල සාමාන්‍ය – 40%

මේ පිළිබඳ සවිස්තර විශ්ලේෂණය මෙතැනින්: https://bit.ly/3MHUgZT


කරුණු පිරික්සීම 7:

2023 අගෝස්තු මාසය සඳහා උපුටා දක්වන ලද සංචිත ප්‍රමාණය වූ එ.ජ.ඩොලර් බිලියන 3.5 ක අගය නිවැරදි වන අතර චීන මහජන බැංකව සමඟ එළැඹුණු එ.ජ.ඩොලර් මිලියන 1.2 ක මුදල් හුවමාරුවක් ද ඊට ඇතුළත් වේ.

සංචිත අඩුම මට්ටමක පැවති 2022 අප්‍රේල් මාසයේදී චීන මහජන බැංකුව සමඟ එළැඹි මුදල් හුවමාරුව (මෙය භාවිතයට ගැනීමට නොහැක) එ.ජ.ඩොලර් බිලියන 1.5 ක් ලෙස වාර්තා විය.

සංචිතවල වැඩිවීම එ.ජ.ඩොලර් බිලියන 2 (3.5 – 1.5) ඉක්මවිය නොහැකි බැවින්, එ.ජ.ඩොලර් බිලියන 3.5 න් සංචිත ​වැඩිවූ බව පැවසීම නිවැරදි නොවේ.


කරුණු පිරික්සීම 8:

පසු ගිය දශක දෙකක කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අපනයන පහත වැටුණු බව මහ බැංකුවේ දත්ත පෙන්වා දේ. 2002 දී 28% පැවති අපනයන 2022 දී 17% දක්වා පහත වැටිණි. මෙය සමස්ත ප්‍රවණාතවය වුව ද, 2022 දී වාර්තා වූ 17% , ඊට පෙර දශකයේ සාමාන්‍යය වූ 13% ට සාපේක්ෂව ඉහළ යාමකි.

This post is also available in: English සිංහල தமிழ்