Harini Amarasuriya

කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන අගමැතිනිය හරි

"

ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තූවේ යූ ටියුබ් නාලිකාව | සැප්තැම්බර් 11, 2025

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය පෙර පැවති පාර්ලිමේන්තුවලට වඩා ඉහළ මට්ටමක පැවතිය ද, එය දකුණු ආසියාවේ අඩුම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කරන ලදි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (Inter-Parliamentary Union) දත්ත පරිශීලනය කරන ලදි.

දසවැනි පාර්ලිමේන්තුවේ වත්මන් කාන්තා නියෝජනය 9.8% ක් බව දත්ත මගින් තහවුරු වන අතර, මෙය පෙර පැවති පාර්ලිමේන්තු (1978–2024) හා සැසඳීමේදී වැඩිවීමකි. එම කාලය තුළ, කාන්තා නියෝජනයේ සාමාන්‍යය 5.3% ක් ලෙස පැවත ඇති අතර, එය කිසි විටෙකදී 6.2% ඉක්මවා ගොස් නැත (අංක 1 ප්‍රස්තාරය බලන්න).

තවද, FactCheck.lk විසින් මෙහිදී දකුණු ආසියාතික රටවල් හතක (ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක් නොමැති ඇෆ්ඝනිස්ථානය හැර) පාර්ලිමෙන්තුවල කාන්තා නියෝජනය ද විමසා බලන ලදි. ප්‍රස්තාර අංක 2 හි පෙන්වා දී ඇති පරිදි, (ශ්‍රී ලංකාව වැනි) ඒක-මණ්ඩල පාර්ලිමේන්තු සහ පහළ මන්ත්‍රී මණ්ඩල සංසන්දනය කිරීමේදී, ශ්‍රී ලංකාවේ 9.8% ක් වන කාන්තා නියෝජනය හේතුවෙන් එය  එම ප්‍රතිශතය අඩුම රටවල් තුන අතරින් එකක් ලෙස සනිටුහන් වේ—එනම්, එය මාලදිවයින (3.2%) සහ භූතානයට (4.3%) පමණක් ඉහළින් සිටී. ඉතිරි රටවල් හතර වන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සැලකිය යුතු තරම් ඉහළ කාන්තා නියෝජනයක් ඇති අතර එකී ප්‍රතිශතයන් ශ්‍රී ලංකාවට අදාළ ප්‍රතිශතය මෙන් එකහමාරකට ආසන්න අගයක සිට තුන් ගුණයකට වඩා වැඩි අගයක් දක්වා පරාසයක පිහිටයි. ඒ අනුව, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් කලාපීය සාමාන්‍යයට වඩා බෙහෙවින් පහළ මට්ටමක් හිමි කර ගෙන සිටියි.

(ඒක මන්ත්‍රී මණ්ඩල සහ ද්වි මන්ත්‍රී මණ්ඩල යන පද්ධති දෙකෙහිම) මන්ත්‍රී මණ්ඩල එක්ව ගෙන සලකා බැලූ විට පවා ශ්‍රී ලංකාව පවතිනුයේ කාන්තා නියෝජනය අඩුම රටවල් තුන අතර වන අතර, මෙහිදී ද ශ්‍රී  ලංකාව ඉදිරියෙන් සිටින්නේ මාලදිවයිනට සහ භූතානයට පමණි (අංක 3 ප්‍රස්තාරය බලන්න).

සාරාංශයක් ලෙස, ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මෙතෙක් අත්කර ගෙන ඇති ඉහළම මට්ටම වුව ද, එය බොහෝ දකුණු ආසියාතික රටවලට වඩා පසුපසින් සිටී.

එබැවින්, අපි අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1: කාන්තා මන්ත්‍රීවරියන් විසින් දරනු ලබන ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ දැනට සිටින මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන්බෙදීමෙන් කාන්තා නියෝජනය ගණනය කරනු ලැබේ.

අතිරේක සටහන 2: ශ්‍රී ලංකාව, මාලදිවයින සහ බංග්ලාදේශය හැර, අනෙකුත් සියලුම දකුණු ආසියාතික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකක් සහිත ද්වි-මණ්ඩල පාර්ලිමේන්තු වේ. පහළ මන්ත්‍රී මණ්ඩවල මන්ත්‍රීවරුන් සෘජුවම තේරී පත් වන බැවින් ද, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට සමාන ආකාරයකින් ජයග්‍රහණය කිරීමට නැඹුරු වන බැවින් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 5.5.1.a දර්ශකය සඳහා නිර්දේශ කර ඇති තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රමවේදයට අනුව අංක 2 ප්‍රස්තාරයෙහි ඇතුළත් විශ්ලේෂණය සිදු කිරීම සඳහා පහළ මන්ත්‍රී මණ්ඩල කෙරෙහි අවධානය යොමු කරන ලදි. .

අතිරේක සටහන 3: 2025 සැප්තැම්බර් 29 දින වන විට, බංග්ලාදේශය සහ නේපාලය මැතිවරණ අපේක්ෂාවෙන් තම පාර්ලිමේන්තු විසුරුවා හැර තිබූ අතර, බංග්ලාදේශය සඳහාත් (2024 අගෝස්තු), නේපාලය සඳහාත් (2025 සැප්තැම්බර්), පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර පැවති වඩාත්ම මෑතකාලීන දත්ත භාවිතා කරන ලදි. ඇෆ්ඝනිස්ථාන රජයට ජාත්‍යන්තර පිළිගැනීම අහිමි වී ඇති අතර, ඒ අනුව එය මෙම විශ්ලේෂණයට ඇතුළත් කර නොමැත.

අංක 1 ප්‍රස්තාරය: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු තුළ මන්ත්‍රීවරියන්ගේ නියෝජනය

අංක 2 ප්‍රස්තාරය: දකුණු ආසියානු පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය – පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ඒක-මණ්ඩල පාර්ලිමේන්තු

සටහන:

*බංග්ලාදේශයේ සහ නේපාලයේ පාර්ලිමේන්තු පිළිවෙලින් 2024 අගෝස්තු මාසයේදී සහ 2025 සැප්තැම්බර් මාසයේදී විසුරුවා හරින ලදි. මෙම විශ්ලේෂණය සඳහා එලෙස විසුරුවා හැරීමට පෙර පැවති වඩාත්ම මෑතකාලීන දත්ත භාවිතා කරන ලදි.

අංක 3 ප්‍රස්තාරය: දකුණු ආසියානු පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය: සියලුම ආසනවල එකතුව (පහළ මන්ත්‍රී මණ්ඩල + ඉහළ මන්ත්‍රී මණ්ඩල) සහ ඒක-මණ්ඩල පාර්ලිමේන්තු

සටහන:

*බංග්ලාදේශයේ සහ නේපාලයේ පාර්ලිමේන්තු පිළිවෙලින් 2024 අගෝස්තු මාසයේදී සහ 2025 සැප්තැම්බර් මාසයේදී විසුරුවා හරින ලදි. මෙම විශ්ලේෂණය සඳහා එලෙස විසුරුවා හැරීමට පෙර පැවති වඩාත්ම මෑතකාලීන දත්ත භාවිතා කරන ලදි.



මූලාශ්‍රය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරියන්, ප්‍රවේශය: https://www.parliament.lk/lady-members

අන්තර් පාර්ලිමේන්තු සංගමය, දත්ත ගවේෂකය, ප්‍රවේශය: https://data.ipu.org/data-explorer/

ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛන අංශය, ජාතික පාර්ලිමේන්තු තුළ කාන්තාවන්ට හිමි ආසන කොටස, ප්‍රවේශය: https://worldbank.github.io/sdg-metadata/metadata/en/5-5-1a/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.