මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

වෙනස් වුණු ආහාර මිල ගැන මහාචාර්ය අමින්ද පෙරේරාගේ ප්‍රකාශය වැරදියි

"

…පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ ගොස් තිබෙනවා….

| ජූලි 6, 2025

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ආහාර උද්ධමනය පහත වැටී ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා විසින් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ අතර, ‘පසුගිය මාසයට සාපේක්ෂව’ ආහාරවල මිල ගණන් අඩු වී ඇති බව පවසමින් ඔහු විසින් එම තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන ලදි.

මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය තහවුරු කිරීම සඳහා FactCheck.lk, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (Colombo Consumer Price Index – CCPI) දත්ත පරිශීලිනය කරන ලදි.

මහාචාර්යවරයා උද්ධමනය පිළිබඳ නිවැරදි තාක්ෂණික අර්ථ දැක්වීමක් ලබා දුන්න ද, ඔහු විසින් එම අර්ථ දැක්වීම යොදා ගනිමින් දත්ත විග්‍රහ කර ඇති ආකාරයේ දෝෂයක් පවතී. ඔහු අතින් සිදු වී ඇති එම දෝෂය නම්, මැයි මාසයේ පැවති වාර්ෂික ලක්ෂ්‍යමය (YoY) උද්ධමන අනුපාතයට සාපේක්ෂව ජූනි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයේ සිදු වූ පහත බැසීම, මැයි සිට ජූනි දක්වා කාලය තුළ මිල ගණන්වල සිදු වූ පහත බැසීමක් ලෙස අර්ථකථනය කිරීමයි. මෙය බරපතල දෝෂයකි.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මගින් වත්මන් මාසයේ (2025 ජූනි) මිල මට්ටම්, පෙර වසරේ එම මාසයේ (2024 ජූනි) පැවති මිල මට්ටම් සමඟ සංසන්දනය කෙරේ. 2025 මැයි මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය ආහාර උද්ධමනය 5.2%ක් වූ අතර ජූනි මාසයේදී එය 4.3%ක් විය. ඒ අතර වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය පහළ ගොස් ඇති බව සත්‍යයකි. එහෙත්, මෙම පහත බැසීමෙන් අදහස් වන්නේ, 2025 වසරේ දී වාර්ෂික ලක්ෂ්‍යමය මිල ගණන් ඉහළ යමින් පැවති වේගය, මැයි මාසයට වඩා ජූනි මාසයේදී අඩු වී ඇති බව පමණි. කෙසේ වෙතත්, මෙම කාලය තුළ මිල ගණන්වල අඩු වීමක් සිදු නොවී ඇති අතර, අඩු වේගයකින් වුව ද, මිල ගණන් අඛණ්ඩව ඉහළ යමින් තිබී ඇත. ඇත්ත වශයෙන්ම, 2025 මැයි මාසයට සාපේක්ෂව 2025 ජූනි මාසයේදී ආහාර මිල 1.8%කින් ඉහළ ගොස් තිබේ.

සාරාංශයක් ලෙස, 2025 මැයි සහ ජූනි මාස අතර ආහාරවග මිලගණන් සම්බන්ධයෙන් සැබවින්ම උද්ගත වූයේ මහාචාර්යවරයා විසින් සඳහන් කර ඇති තත්ත්වයට වඩා හාත්පසින්ම විරුද්ධ තත්ත්වයකි. ආහාරවල මිලගණන් අඩු වී ඇති බවට ඔහු ප්‍රකාශ කළ ද, යථාර්ථය වූයේ එකී මිලගණන් ඉහළ ගොස් තිබීමයි.

එබැවින්, අපි මහාචාර්යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මිලගණන් පිළිබඳ දත්ත, 2024, 2025 මැයි-ජූනි



මූලාශ්‍රය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (Colombo Consumer Pricce Index (CCPI), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.