තොරතුරු පිරික්සීම
2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආනයන වියදම (එ.ජ.ඩොලර් මිලියන 822) පූර්ව-කොවිඩ් මට්ටම් ඉක්මවා ගිය බව හිටපු ජනාධිපති උපදේශක සුනන්ද මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළ අතර, මෙවැනි වාතාවරණයක් තුළ මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම “තරමක්” අවදානම් සහිත වනු ඇතැයි ඔහු තර්ක කළේය.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ දත්ත පරිශීලනය කරන ලද අතර එම දත්ත හිටපු ජනාධිපති උපදේශකවරයා උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛන සමඟ සමපාත වේ.
ඔහු සඳහන් කළ කරුණ සහ තර්කය ඇගයීම සඳහා FactCheck.lk විසින් 2024 දෙසැම්බර් මාසයට අදාළ දත්ත, පසුගිය වසර දහයට (2015-2024) අදාළ මාසික වාර්තා සමඟ සංසන්දනය කරන ලදි. එම විශ්ලේෂණයෙන් හෙළි වූ පරිදි, පරීක්ෂා කළ මාස 120 න්:
- මාස 8 ක ආනයනය 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව වැඩි මට්ටමක තිබී ඇති අතර, ඉන් මාස 5ක් පූර්ව-කොවිඩ් (2020ට පෙර) අවධියට අයත් වේ.
- මාස 23 ක් තුළ 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ වෙළඳ හිඟයක් තිබී ඇති අතර, ඉන් මාස 18ක් පූර්ව-කොවිඩ් අවධියට අයත් වේ.
එබැවින්, ආනයනය හා වෙළඳ හිඟය පූර්ව-කොවිඩ් සමයේ මට්ටම් ඉක්මවා ගිය බවට සඳහන් කළ කරුණ සාවද්‍ය වේ.
වත්මන් ආනයන මට්ටම හා වෙළඳ හිඟය සැලකූ විට නැවත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් චකිතයක් ඇති කර ගත යුතු ද යන්න ඇගයීම සඳහාFactCheck.lk විසින් පසුගිය වෙළඳ දත්තවලින් මෝටර් රථ ආනයන අඩු කර ලැබෙන සංඛ්‍යා පරීක්ෂා කරන ලදි. වත්මන් සංඛ්‍යා වාර්තා වී ඇත්තේ සීමාවන් පනවා ඇති කාලසීමාවක් තුළ වීම මීට හේතුවයි. එවිට, එම කාල පරිච්ඡේදයම සැලකූ විට:
- 2015 න් පසු මාස 4 ක් තුළ 2024 දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ආනයන මට්ටම් වාර්තා වී ඇති අතර, ඉන් එක් මාසයක් පූර්ව-කොවිඩ් අවධියට අයත් විය.
- 2015 න් පසු මාස 12 ක (10%) වඩා වැඩි වෙළඳ හිඟයක් වාර්තා වී ඇති අතර, ඉන් මාස 8 ක් පූර්ව-කොවිඩ් අවධියටඅයත් විය.
මෙම කරුණ මත ගොඩනගා ඇති තර්කය නම්, පවතින දත්ත සැලකූ විට මෝටර් රථ නැවත ආනයනය කිරීම ඇරඹීම ‘තරමක් අවදානම්’ සහිත වනු ඇති බවයි. පසුගිය පූර්ව-කොවිඩ් දත්තවලින් (2015 ජනවාරි සහ 2019 දෙසැම්බර් අතර මාස 60) මෝටර් රථ ආනයනවල වටිනාකම අඩු කළ විට, 2024 දෙසැම්බර් මාසයේ වාර්තා වූ ආනයනය වැඩිම ආනයන මට්ටම් 2% තුළ පවතින අතර වෙළඳ හිඟය ඒ සඳහා වාර්තා වී ඇති අගයන් අතරින් ඉහළම 13% තුළ පවතී.
එබැවින්, දත්ත සම්බන්ධයෙන් සඳහන් කරන ලද සරල කරුණ නිවැරදි නොවුව ද, පසුගිය දත්තවලින් වාහන ආනයනයන් අඩු කර පූර්ව-කොවිඩ් සමයේ ආනයනයන් හා වෙළඳ හිඟයන් සමඟ සන්සන්දනය කිරීමෙන් වාහන ආනයනය කිරීම නැවත ඇරඹීම ‘තරමක් අවදානම්’ සහිත බවට ඉදිරිපත් කළ වඩා පිළිගත හැකි තර්කය සනාථ කළ හැක.
එබැවින්, හිටපු ජනාධිපති උපදේශකවරයාගේ ප්‍රකාශය අපි තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන: 2019 සහ 2024 අතර කාලය තුළ එ.ජ.ඩොලර් උද්ධමනය (එ.ජ.ඩොලරය සඳහා වන දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම්ව) හේතුවෙන් වෙළඳාම් කරන ලද භාණ්ඩවල නාමික වටිනාකම 20% කින් පමණ ඉහළ නැංවුණු බැවින් උද්ධමනයට ගලපා වෙනස් කර ඇතිදත්ත භාවිතයෙන් මෙහිදී වඩාත් නිවැරදි සංසන්දනයක් සිදු කළ හැක. මූර්ත සංඛ්‍යා සැලකූ විට, 2015 න් පසු මාස 53 ක් තුළ (එනම්, මුළු කාලසීමාවෙන් 44% ක) වාර්තා වූ ආනයනයන් (වාහන ආනයන හැර) 2024 දෙසැම්බර් මාසයේ ආනයනයන් ඉක්මවා ගොස් ඇති අතර, මින් මාස 44 ක් පූර්ව-කොවිඩ් සමයට අයත් වේ. එමෙන්ම, 2015 න් පසු මාස 42 ක (එනම්, මුළු කාලසීමාවෙන් 35% ක) වෙළඳ හිඟය 2024 දෙසැම්බර් මාසයේ වාර්තා වූ වෙළඳ හිඟයට වඩා වැඩි වූ අතර, ඉන් මාස 33 ක් පූර්ව-කොවිඩ් අවධියට අයත් විය.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්..
මූලාශ්‍රය
External Sector, Central Bank of Sri Lanka. https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector