සිසිර ජයකොඩි

සිසිර ජයකොඩි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහුම ප්‍රකාශයක් නිර්මාණය කරයි

"

"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත අය බව අපි දන්නවා."

දිවයින | ජනවාරි 2, 2019

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාගේ මෙම ප්‍රකාශය FactCheck.lk ආකාර 3කින් විමර්ශනයට ලක් කළේ ය.

1. ජනතාවට පොදුවේ ප්‍රවිශ්ට විය හැකි තොරතුරු මූලාශ්‍රයන් හරහා

2. මෙම ප්‍රකාශය සිදුකිරීම සඳහා තොරතුරු ලබාගත් ආකාරය සම්බන්ධයෙන් දැනගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන්ම සෘජුවම කරුණු විමසා සිටීම හරහා

3. මෙම ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කිරීම සඳහා වන තොරතුරු ඇති නම් ලබා දෙන ලෙස අපගේ FactCheck.lk වේදිකාවන් ඔස්සේ ජනතාවට විවෘත ආරාධනයක් සිදුකිරීම හරහා

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 91(1)(ඈ)(13) වගන්තියේ මෙසේ සඳහන් වේ:

“ශ්‍රී ලාංකික පුරවැසියකු, තවත් රටක පුරවැසිභාවය ලබා ඇත්නම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට හෝ පාර්ලමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”

ඇතැම් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ව්‍යවස්ථා ප්‍රතිපාදනය උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කියැවේ.

2017 වසරේ මුල් භාගයේ දී ද්විත්ව පුරවැසිභාවය දරන්නේ යැයි චෝදනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට එල්ල විය. එම චෝදනාව හමුවේ ඇයට එරෙහිව ක්වෝ වැරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිය පාර්ලිමේන්තු අසුන අතහැරීමට කුමාරසිංහට සිදු විය. 2017 වසරේ පැෆරල් සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක එම සංවිධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබූ තොරතුරු ඇතුළත්ව තිබිණ. ද්විත්ව පුරවැසිභාවයක් තිබෙන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ගීතා කුමාරසිංහ බව එම තොරතුරු හරහා තහවුරු විය.

ජනතාවට පොදුවේ ප්‍රවිෂ්ට විය හැකි තොරතුරු මූලාශ්‍රයන් හරහා හෝ, මන්ත්‍රීවරයාගෙන් සෘජුවම කරුණු විමසා සිටීම හරහා හෝ, තොරතුරු ලබා දෙන ලෙස අප වේදිකාවන් ඔස්සේ මහජනතාවගෙන් කළ ඉල්ලීම් හරහා හෝ, 2017 වසරේ දී මෙසේ පැෆරල් සංවිධානය ලබා ගත් තොරතුරුවලට පටහැනි වෙනත් තොරතුරක් FactCheck.lk වෙත නොලැබිණ.

මේ අනුව අපි සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය – පූර්ණ අසත්‍යයක් ලෙස විග්‍රහ කරමු.

FactCheck.lk හි විග්‍රහය කාලීනව ලබාගත් ජනතාවට පරිශීලනය කිරීමට හැකි තොරතුරු මත පදනම් වේ. FactCheck.lk හට මේ සම්බන්ධයෙන් නව තොරතුරු ලැබුනහොත් මෙම කරුණ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතුවල නියුක්ත වනු ඇත.

අමතර තොරතුරු

මෙම තොරතුරේ ඇති සත්‍ය අසත්‍යබව පිළිබඳ තීන්දුව FactCheck.lk, 2019 පෙබරවාරි මස 8 වැනිදා තම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ජනගත කරන ලදි. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාව තැපෑල සහ දුරකතනය හරහා දැනුවත් කරන ලදි.

අපගේ පාඨකයින්ට වූ පොරොන්දුව අනුව, පා.ම. සිසිර ජයකොඩි හට ඔහුගේ ප්‍රකාශය පිළිබඳ කරුණු දැක්වීම සඳහා 2019 පෙබරවාරි මස 28 වැනිදා තෙක් කාලය ලබා දෙන ලදි.

එසේ වුවත්, ඔහුගෙන් හෝ වෙනත් පාර්ශවයකින් අප ඉදිරිපත් කළ තොරතුරුවලට පටහැනි වෙනත් තොරතුරක් අප වෙත නොලැබිණ.

එමනිසා, මෙම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පූර්ණ අසත්‍යයක් ලෙස වර්ගීකරණය කරමින් යාවත්කාලීන කරන ලදි.



මූලාශ්‍රය

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (PAFFREL) විසින් නිකුත්  මාධ්‍ය නිවේදනය

  • “ද්විත්ව පුරවැසිභාවය ලබාගත් එකම මන්ත්‍රීවරිය ගීතා කුමාරසිංහයි ” – ආගමනය සහ විගමනය පාලන අංශය සහතික කරයි, 2017 අගෝස්තු 24.  අන්තර්ජාල සබැඳිය:  http://www.paffrel.com/posters/170824120842Binder1.pdf
  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව (සංශෝධිත පරිදි), අන්තර්ජාල සබැඳිය:  https://www.parliament.lk/files/pdf/constitution.pdf