තොරතුරු පිරික්සීම
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාවේ පවතින වෙළඳ සබඳතාව සම්බන්ධයෙන් ආචාර්ය වසන්ත බණ්ඩාර විසින් කරුණු දෙකක් සඳහන් කරන ලදි: එනම්, (1) ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 25%ක් ලැබෙනුයේ ඇමෙරිකාවෙන් බවත්, (2) ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර 88%ක වෙළඳ අතිරික්තයක් පවතින බවත්, වශයෙනි.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ කොමිසමේ (USITC) වෙළඳ දත්ත, සහ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් 2025අප්‍රේල් 2 දිනැති ධවල මන්දිර ප්‍රකාශය පරිශීලනය කරන ලදි.
පළමු කරුණ: අපනයනවලින් ඇමෙරිකාවට හිමි කොටස
ආචාර්ය වසන්ත බණ්ඩාර උපුටා දක්වන 25% ක අගය සම්බන්ධයෙන් ඔහු විසින් නිශ්චිත කාල සීමාවක් සඳහන් කර නොතිබිණි. එබැවින්, FactCheck.lk විසින් ඒ සඳහා: (i) වඩාත් මෑතකාලීන වාර්ෂික දත්ත (2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයනය), සහ (ii) ඇමෙරිකාවට සිදු කරන ලද අපනයන මුළු අපනයනවල කොටසක් ලෙස ගෙන එහි පස් අවුරුදු සාමාන්‍යය (2020–2024) පරීක්ෂා කරන ලදි.
2024 දී ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයන ආදායම එ.ජ.ඩොලර් බිලියන 12.8 ක් වූ බව මහ බැංකුවේ දත්ත පෙන්වා දේ. මින් ඇමෙරිකාවට සිදුකරන ලද අපනයනවලින් ලැබූ ආදායම එ.ජ.ඩොලර් බිලියන 2.9ක් වූ අතර එය මුළු අපනයන ආදායමින් 23% කි. 2020සිට 2024 දක්වා ඇමෙරිකාවට සිදු කරන ලද අපනයනවල සාමාන්‍යය කොටසක් වශයෙන් ගත් විට ආසන්න වශයෙන් 24% කි. මෙම සංඛ්‍යා දෙකම ආචාර්ය වසන්ත බණ්ඩාර සඳහන් කළ 25%ක ප්‍රතිශතයට ආසන්නව ගැලපේ.
ප්‍රකාශය 2: වෙළඳ අතිරික්තයේ ප්‍රතිශතය
ආචාර්ය වසන්ත බණ්ඩාරගේ ප්‍රකාශය 2025 අප්‍රේල් 2 වැනි දින අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කිරීමේදී ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රථම වරට ප්‍රචලිත කරන ලද ගණනය කිරීමක් මත පදනම් වූවක් බව මෙහිදී පෙනී යයි. මෙම ක්‍රමවේදය යටතේ ඇමෙරිකාවේ බලධාරීන් විසින් වාර්තා කරන ලද දත්ත මත පදනම්ව, ශ්‍රී ලංකාව සමඟ පවතින වෙළඳ හිඟය ඇමෙරිකාවේ දෘෂ්ටිකෝණයෙන් අර්ථ දක්වනු ලැබේ.
2024 සඳහා ඇමෙරිකාව විසින් වාර්තා කර ඇති දත්ත මත පදනම්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින වෙළඳ හිඟය 88% කි. ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සිදු කරනු ලබන අපනයනවලින් ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් සිදු කරන ආනයන අඩු කර ලැබෙන අගය එම ආනයනවල ප්‍රතිශතයක් ලෙස ගනිමින් මෙම වෙළඳ හිඟය ගණනය කර ඇත. ශ්‍රී ලංකාවට ඇමෙරිකාවට අදාළව පවතින වෙළඳ අතිරික්තය ලෙස වෙනත් අයුරකින් හඳුන්වා දී ඇත්තේ ද මෙම අගය වේ.
ශ්‍රී ලංකාවේ වෙළඳ අතිරික්තය වශයෙන් ශ්‍රී ලංකාව පිළිගන්නා අගය සාමාන්‍යයෙන් ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් වාර්තා කරනු ලබන දත්ත අනුසාරයෙන් වන අතර, එය ඇමෙරිකාවේ බලධාරීන් විසින් වාර්තා කරනු ලබන දත්ත හා සමාන නොවේ. ශ්‍රී ලංකාවේ දත්තවලට අනුව 2024 දී ඇමෙරිකාවට සිදු කරන ලද අපනයන, ඇමෙරිකාවෙන් සිදු කරන ලද ආනයන එ.ජ.ඩොලර් බිලියන 2.5කින් ඉක්මවා ගිය අතර, ඇමෙරිකාවට සිදු කරන ලද මුළු අපනයනවලින් ලැබුණු ආදායම එ.ජ.ඩොලර් බිලියන 2.9 ක් විය. මෙමගින් 85%ක වෙළඳ අතිරික්තයක් දැක්වෙන අතර, එය ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් වඩාත් නිවැරදි අගය වේ.
මෙම ගණනය කිරීම් දෙකෙන්ම ආසන්න වශයෙන් සමාන සංඛ්‍යා ලැබෙන අතර, මෙම වෙනසට හේතුව මෙම රටවල් දෙක වෙළඳ දත්ත වාර්තා කරන ආකාරයේ ඇති විෂමතාවයන් වේ. ආචාර්ය වසන්ත බණ්ඩාර මෙම ගණනය කිරීම්වලින් එකක් භාවිතා කරන අතර, එය නිල විරෝධයකින් තොරව පුළුල් වශයෙන් පිළිගෙන ඇති අගයකි.
එබැවින්, අපි ආචාර්ය වසන්ත බණ්ඩාරගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
මූලාශ්‍රය
ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශීය අංශයේ සංඛ්‍යාලේඛන (2024).
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ කොමිසමේ (USITC) වෙළඳ දත්ත.
අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ ධවල මන්දිර ප්‍රකාශය, 2025 අප්‍රේල් 2.
මූලාශ්‍රය: වාර්ෂික ආර්ථික විවරණය 2024, සංඛ්‍යාලේඛන පරිශිෂ්ටය, ශ්‍රී ලංකා මහ බැංකුව.https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2024/statistical-appendix