ඉරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් පා.ම. ඉරාන් කියපු තරම් අඩු නැහැ

"

ඉතිරිය අඩුයි ලංකාවේ. සාමාන්‍යයෙන් කිවුවොත් , ලංකාවේ ඉතිරිය සියයට 15ක්, 20ක් තමයි වැඩිම වුණොත් වෙන්නේ. ඉන්දියාව ගත්තොත් සියයට 30යි, 35යි. චීනය ගත්තොත් සියයට 50ට වඩා වැඩියි. ඉතින් අපට ඒක නැහැ.

පාර්ලිමේන්තුව | ජූනි 7, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් අඩු මට්ටමක පවතින බවට තර්ක කරමින් හිටපු පා.ම. ඉරාන් වික්‍රමරත්න විසින් සඳහන් කරන ලද්දේ එය ඉන්දියාවේ සහ චීනයේ ඉතුරුම් මට්ටම්වලට වඩා අඩක් හෝ අඩු අගයක් හෝ ගන්නා බවයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ 2023 ට අදාළ අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ ලෝක බැංකුවේ දත්ත පද්ධතිය පරිශීලනය කරන ලදි.

මුදල් අමාත්‍යාංශයේ 2023 ට අදාළ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ දේශීය ඉතිරි කිරීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 23.8% ක් වූ අතර එය 2022 ට(25%) සහ 2021 ට (29.4%) ට සාපේක්ෂව අඩු වී තිබේ. ලෝක බැංකුව ද මෙම කාල සීමාවට අදාළව මෙකී සංඛ්‍යාවන්ම වාර්තා කර ඇත. ඉතිරි කිරීම්වලට අදාළ මෙම ප්‍රතිශතය හිටපු පා.ම. විසින් උපුටා දක්වන ලද 15%-20% පරාසයට වඩා වැඩි වන අතර, එය ගෝලීය සහ දකුණු ආසියානු සාමාන්‍ය වන 20%-22% පරාසය ද ඉක්මවයි.

ඉතිරි කිරීම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාව සැසඳෙන ආකාරය සැලකූ විට, 2023 දී ඉන්දියාවේ දේශීය ඉතිරි කිරීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 29.2% ක් වූ බවත්, එය ඊට පෙර වසර දෙකට සාපේක්ෂව ඉහළ යාමක් බවත් ලෝක බැංකුව වාර්තා කරයි. ඒ හා සමානව, 2022 දී චීනයේ දේශීය ඉතිරි කිරීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 46.6% ක් වූ බවට වාර්තා වී ඇති අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇත (අංක1 වගුව බලන්න). මේ අනුව, මෙම රටවල් දෙකෙහිම ඉතිරි කිරීම් සඳහා හිටපු පා.ම.සඳහන් කර ඇත්තේ වාර්තා කර ඇති සංඛ්‍යාලේඛනවලට වඩා ඉහළ ප්‍රතිශතයන් වේ. ඉන්දියාවේ සහ චීනයේ ඉතිරි කිරීම් ප්‍රතිශතයන් පිළිවෙලින් ශ්‍රී ලංකාවේ ප්‍රතිශතය මෙන් 1.2 සහ 2 ගුණයක් පමණ වන අතර එය පා.ම.ගේ ප්‍රකාශයේ හඟවා ඇති පරිදි දෙගුණයක් හෝ තුන්ගුණයක් හෝ නොවේ.

මේ අනුව, වාර්තා වී ඇති සත්‍ය සංඛ්‍යාලේඛන කිසිවක් හිටපු පා.ම. විසින් දක්වා ඇති සංඛ්‍යා පරාසය තුළ නොපිහිටන අතර, ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් පහත අගයක පැවතීමේ කරුණ මෙන්ම එය ඉන්දියාව හා චීනය සමඟ සැස‌‌ඳෙන ආකාරය පිළිබඳ සඳහන් කළ කරුණ ද දත්ත මගින් තහවුරු නොවේ.

එබැවින්, අපි හිටපු පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ චීනයේ දේශීය ඉතිරි කිරීම් 2021-2023



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව 2023. ප්‍රවේශය: https://www.treasury.gov.lk/api/file/ad12f7fa-d2db-43d4-9daa-9270ee7b7cac

ලෝක බැංකුවේ දත්ත. ප්‍රවේශය: https://data.worldbank.org/indicator/NY.GDS.TOTL.ZS

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.