රනිල් වික්‍රමසිංහ

විදේශ ණය ගැන ජනපතිගේ කරුණු පරික්ෂාව, පරික්ෂාවට!

"

අපේ රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා බිලියන71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අපි ණය ගත්තු බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඔ්නෑම කෙනෙක් දන්නවා. කි

පාර්ලිමේන්තුව | ජූලි 2, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 71 ක් ලෙස පැවති බවත්, තමාගේ ධුර කාලය තුළ එය එ.ජ.ඩොලර් බිලියන 100 දක්වා ඉහළගොස් ඇති බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇතැයි පැවසූ සටහනකට ප්‍රතිචාර දක්වමින්, (1) මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ.ඩොලර්100 ක් නොව එ.ජ.ඩොලර් බිලියන 37ක් පමණක් බවත්, (2) ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැර ඇති බැවින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමට කිසිදුරටකට නීත්‍යනුකූල අයිතියක් නොමැති වීමෙන් ශ්‍රී ලංකාවට විදේශ ණය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහපාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය .

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා, වසර-මැද වාර්තා සහ රාජ්‍ය ණය සංග්‍රහයන් (Public Debt Bulletins) පරිශීලනය කරන ලදි.

පළමු කරුණ: රාජ්‍ය ණය සංග්‍රහයන් තුළින් හෙළි වන පරිදි 2024 මාර්තු මාසයේදී පැවති මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 37 ක් වූ අතර, එය ජනාධිපතිවරයා උපුටා දැක්වූ සංඛ්‍යාලේඛනවලට අනුකූල වේ (අතිරේක සටහන 1 බලන්න). මේ අනුව, එම සමාජ මාධ්‍ය සටහනින් දක්වා තිබුණේ බොහෝ දුරට දේශීය ණය ද ඇතුළුව සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය විය හැක. 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 70.9 ක් (සහතික කරන ලද ණය හැර) වූ අතර 2024 මාර්තු වන විට එය එ.ජ.ඩොලර් බිලියන 100.1 (සහතික කරන ලද ණය දඇතුළුව) දක්වා ඉහළ ගියේය.

දෙවැනි කරුණ: ණය ගෙවීම අත්හිටුවීමෙන් පසුව වුව ද (ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිචාරයේදී පිළිගත් ඉන්දියානු ණය සහනය හැර) ශ්‍රී ලංකාවට මූලාශ්‍ර 2 න් තවදුරටත් විදේශ ණය ලබා ගැනීමේ හැකියාව ඉතිරව තිබිණ: බහුපාර්ශ්වික සංවිධාන සහ වෙනත් රටවල් එම මූලාශ්‍ර දෙක වේ. එලෙසලැබුණු මුළු මුදල (ඉන්දියාවෙන් හැර) එ.ජ.ඩොලර් බිලියන 3.4 ක් පමණ විය (අංක 1 වගුව බලන්න). එයින් එ.ජ.ඩොලර් මිලියන 104 ක් අතීත සහ නව ද්වීපාර්ශ්වික ණය ලබා දීම හේතුවෙන් ලැබුණු අතර අවම වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 10 ක් හෝ ප්‍රංශය සහ නෙදර්ලන්තය විසින් ලබා දෙන ලද නව ණයවලින් සමන්විත විය.

සාරාංශයක් වශයෙන්, ජනාධිපතිවරයා විසින් මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 37 ක් වශයෙන් නිවැරදිව උපුටා දක්වන ලදි. කෙසේ වෙතත්, විදේශ ණය ඉහළ යාමේ හැකියාවක් නොපැවතුණු බවට ඔහු සඳහන් කළ කරුණ මෙන්ම ඊට හේතු වශයෙන් ඔහු දැක්වූ කරුණු ද සාධක දෙකක් නිසා නිරවද්‍ය නොවේ. පළමුව, බහුපාර්ශ්වික බැංකුවලින් ණය දීම නිසා අදාළ කාලය තුළ විදේශ ණය වැඩි වී තිබිණි. දෙවනුව, ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ණය දීමට කිසිදු රටකට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවට සිදු කළ ප්‍රකාශයට පරස්පර විරොධී වන අයුරින් ඉන්දියාව හැරුණු කොට වෙනත් රටවල් ද අදාළ කාලය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා දෙමින් නව ණය මුදල් සඳහා අත්සන් තබා ඇත.

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන 1: ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු එළැඹි කාලසීමාව තුළ (2022 අප්‍රේල් සිට 2024 මාර්තු දක්වා), ශ්‍රී ලංකාවට දළ විදේශ ණය ලබා දීම් වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 4.1 ක් (IMF සංවිධානය වෙතින් ලැබුණු එ.ජ.ඩොලර් බිලියන 0.7 ක් ද ඇතුළුව) ලැබී තිබුණු අතර එම කාලය තුළ එ.ජ.ඩොලර් බිලියන 2.0 ක ණය මුදලක් ආපසු ගෙවා ඇත. ඒ අනුව, එමගින් එ.ජ.ඩොලර් බිලියන 35 සිට එ.ජ.ඩොලර් බිලියන 37 දක්වා විදේශ ණයවල ශුද්ධ වැඩිවීමක් වාර්තා විය.

අංක 1 වගුව: ලැබුණු මුළු විදේශ ණය ප්‍රමාණය



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා, වසර-මැද වාර්තා සහ රාජ්‍ය ණය සංග්‍රහයන් (Public Debt Bulletins)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.