මහාචාර්ය වසන්ත අතුකෝරල

වැඩි වන පොලිය ගැන මහාචාර්ය අතුකෝරල නිවැරදිව කරුණු කියයි

"

ඒ අනුව පොලී ගෙවීම සඳහා පමණක්...2024 රුපියල් බිලියන 2,651ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අනෙක් දේවල් වලට සාපේක්ෂව ණය පොලී ගෙවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බව පැහැදිලි වෙනවා

අරුණ | ඔක්තෝබර් 31, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල විසින් වත්මන් දේශපාලන කතිකාව තුළ අවධානයට ලක්ව ඇති  ශ්‍රී ලංකාවේ දේශීය ණය සහ ගෙවිය යුතු පොලිය ඉහළ යාම යන කරුණු ඉස්මතු කර දක්වන ලදි. අනෙකුත් වියදම් කාණ්ඩ සඳහා වැය කර තිබූ මුදල විශාල ලෙස ඉක්මවා යමින් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,651 ක් 2024 අයවැයෙන් වෙන් කර තිබූ බව මෙහිදී ඔහු පවසා සිටියේය.

මෙම කරුණුවල වැරදි නිවැරදිබව පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ 2024 සඳහා අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු පරිශීලනය කරන ලදි.

මහාචාර්යවරයා විසින් උපුටා දක්වන ලද පරිදි, රජය පොලී ගෙවීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන 2,651 ක් වෙන් කර තිබූ බව ඉහත සඳහන් කරන ලද අයවැය ඇස්තමේන්තුවෙන් පෙනී යයි.

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය යන අංශ තුනේම වියදම සඳහා මධ්‍යම රජය විසින් මුළු වියදමින් 14% ක් ද, පළාත් රජයන් විසින් බොහෝ දුරට මුළු වියදමින් 4% ක් දක්වා වූ ප්‍රමාණයක් ද වෙන් කර තිබූ අතර පොලී ගෙවීම සඳහා වෙන් කර තිබූ මුදල (මුළු වියදමින් 40% ක්) මෙම කාණ්ඩ දෙකේ එකතුවටත් වඩා බොහෝ සෙයින් විශාල වූ බව අංක 1 වගුව පෙන්වා දෙයි.

අයවැයෙන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක්–එනම් මුළු වියදමින් 9% ක්–වෙන් කර ඇත්තේ ආරක්‍ෂක අංශය (ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂකඅමාත්‍යාංශය යන දෙකටම වෙන් කරන ලද ප්‍රතිපාදනවල එකතුව) වෙනුවෙන් වන අතර, මෙය පොලී ගෙවීම සඳහා වෙන් කර ඇති ප්‍රමාණයෙන් හතරෙන් පංගුවකටත් වඩා අඩු මුදලකි.

ඒ අනුව, පොලී ගෙවීම සඳහා රජයේ අනෙකුත් වියදම් කාණ්ඩවලට සාපේක්ෂව රජයේ මුළු වියදමින් වඩා වැඩි කොටසක් වැය වන බවට මහචාර්යවරයා සිදු කරන ලද ප්‍රකාශය මෙම සියලුම දත්ත මගින් තහවුරු කෙරේ.

එබැවින්, අපි එම ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: සෞඛ්‍යයට අදාළ වියදම් ගණනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ද, අධ්‍යාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ද, සමාජ ආරක්ෂණය සඳහා කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන වෙනුවෙන් ද 2024 අයවැය මගින් වෙන් කර ඇති මුදල් පදනම් කර ගනිමින් සමාජයීය අංශයේ වියදම ගණනය කර ඇත.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: වියදම් කාණ්ඩ

* සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා මධ්‍යම රජයේ වියදම මුළු වියදමින් 10% ක් වන අතර පළාත් රජයන්ගේ වියදම් සැලකිල්ලට ගත් විට ඊට අමතර 4% ක් දක්වා මුදලක් එකතු විය හැක.

**බැංකු ප්‍රතිප්‍රාග්ධනය සහ රාජ්‍ය ණය ක්‍රමක්ෂ කිරීම බැහැර කරයි



මූලාශ්‍රය

2024 සඳහා අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු, මුදල් අමාත්‍යාංශය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.