ලක්ෂ්මන් කිරිඇල්ල

බැඳුම්කර ගනුදෙනු අලාභයන් පියවා ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී කිරිඇල්ල යතාර්ථයෙන් එපිටට යයි

"

එ.ජා.ප. ය බැඳුම්කර වලින් බිලියන 10ක අලාභය කළා කියලයි චෝදනාව තිබෙන්නේ. පර්පචුවෙල් සමාගමේ බිලියන 12ක් මහ බැංකුව පවරාගත් නිසා රටට පාඩුවක් නැහැ.

ලංකාදීප | පෙබරවාරි 2, 2020

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2020 පෙබරවාරි 02 වන දින ලංකාදීප පුවත්පත මගින් වාර්තා කරන්නට යෙදුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ප්‍රකාශිත කරුණකි. එහිදී ඔහු ප්‍රකාශ කොට තිබුණේ, 2015 ජනවාරියෙන් පසුව සිදුවූ බැඳුම්කර ගනුදෙනු අක්‍රමිකතාවයන් නිසා සිදුවූ රුපියල් බිලියන 10 ක ඇස්තමේන්තුගත අලාභය, සැබවින්ම අලාභයක් ලෙසින් නොසැලකිය යුතු බවයි. ඔහුගේ තර්කයට පදනම් වී තිබුණේ, මේ සම්බන්ධයෙන් පැවැත්වුණු පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 12 කටත් වැඩි එම ගනුදෙනුවේ අනෙක් පස පාර්ශව වත්කම් අත්හිටුවා තිබීමයි. ඔහු මෙය සංසන්දනය කරන්නේ, පාඩු පියවා ගැනීමට සහායක් ලෙසින් කිසිදු වත්කමක් අත්හිටුවා තිබූ නැති 2002-2015 කාලසීමාවේ සිදුවූ ඇස්තමේන්තුගත පාඩුවත් සමගිනි.

FactCheck.lk මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ තර්කය මට්ටම් දෙකකින් තක්සේරු කොට ඇත. පළමුව ඔහුගේ ප්‍රකාශයේ වන සංඛ්‍යාවන් සහ තොරතුරු FactCheck.lk මගින් සොයා බලා ඇති අතර; දෙවෙනුව ඒ ඔස්සේ ඔහු ඉදිරිපත් කරනා නිගමනය FactCheck.lk මගින් තක්සේරු කොට ඇත.

පළමුව, අපි කිරිඇල්ල හිටපු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන විමසුවෙමු. පෙනෙනා ලෙසට ඔහු රුපියල් බිලියන 10 ක් ලෙසින් ඉදිරිපත් කරන්නේ, මහ බැංකුවේ වෝහාරික විගණන වාර්තා අංක 4 හි 89 වෙනි වගුවේ දක්වා ඇති 2015 ජනවාරියෙන් පසු සිදුවූ බැඳුම්කර ගනුදෙනුවලින් සිදුවු බවට ඇස්තමේන්තුගත රුපියල් බිලියන 9.68 ක උපරිම අලාභයයි.

2002-2015 කාලය අතරතුරදී නිකුත් කෙරුණු, සැලකිය යුතු ප්‍රමාණයක අලාභයකට හේතු වූ රුපියල් බිලියන 5,600 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි. සෘජු මිලදී ගැනීම් ලෙසින් වූ රුපියල් බිලියන 5,600 ක බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තා අංක 1 හි ඇති 18 වෙනි වගුව ඔස්සේ තහවුරු කෙරෙන අතර, එම වාර්තාවේම වගු අංක 58 මගින් සාරාංශගත කරන්නේ මෙම බැඳුම්කර නිකුතුවෙන් වූ ඇස්තමේන්තුගත අලාභය රුපියල් බිලියන 10.47 ක් ලෙසයි. එනිසා, 2002-2015 කාලය අතර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ.

එසේම හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, රජය මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12 ක වත්කම් අත්හිටවූ බවයි. 2015 වසරේ සිදුවූ අක්‍රමික බැඳුම්කර නිකුත් කිරීම් හා සබැඳි වෙනත් පරීක්ෂණවලින් සොයාගත් කරුණුවලට අනුව සහ මහ බැංකුව විසින්ම කළ පරීක්ෂණයට අනුව, 2016 නොවැම්බර් 07 වන දින මහ බැංකුව මගින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් හි අරමුදල් අන්සතු කිරීම වළක්වන්නට යෙදුණු අතර, පසුව පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි බැංකු ගිණුම් අත්හිටුවන්නට යෙදිණි. මෙම බැංකු ගිණුම්වලට වත්කම් ලෙසින් රුපියල් බිලියන 12.5 ක් රඳවා තිබූ බැංකු ගිණුම් දෙකක්ද ඇතුළත් විණි. 2018 ජනවාරි 24 වන දින මහ බැංකුව විසින් මෙම වත්කම් අත්හිටුවීම පර්පෙචුවල් සමූහයේ සියලුම සමාගම් ඇතුළත් වන පරිදි පුළුල් කරන ලි. ඉන්පසුව 2018 පෙබරවාරි 01 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් ඔස්සේ යමින්, කොළඹ මහාධිකරණය විසින් මෙම වත්කම් අත්හිටුවීම  දීර්ඝ කරමින් නියෝගයක් නිකුත් කරන ලදි. මෙම නියෝගය ලබාදෙන්නට යෙදුණේ, 2015 දී සිදුවූ අක්‍රමික බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධ වත්කම් පැවරීම වළක්වමිනි. 2002-2015 කාල සීමාව තුළ නිකුත් කෙරුණු රුපියල් බිලියන 5,600 ක වටිනාකමකින් යුතුව නිකුත් කෙරුණු බැඳුම්කර සබැඳිව ඇස්තමේන්තුගත කෙරුණු රුපියල් බිලියන 10.47 ක අලාභයන් සම්බන්ධයෙන් උක්ත ආකාරයේ ක්‍රියාමාර්ගයන් ගැනුණු බවක් වාර්තා වී නොමැත.

බැඳුම්කර නිකුත් කිරීම්, ඇස්තමේන්තුගත අලාභයන් සහ ඒවාට අදාළව වත්කම් ඇවිරීම් සම්බන්ධයෙන් මහ බැංකු වෝහාරික විගණන වාර්තාවන්හි දැක්වෙන අතර ඒවා මහජනයාට ලබාගත හැකි මූලාශ්‍ර ලෙසින් තිබේ. මෙසේ බලන විට හිටපු මන්ත්‍රී කිරිඇල්ල විසින් උක්ත කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයන් ඒ හා සැසඳේ.

දෙවෙනුව, 2015 ජනවාරියෙන් පසු සිදුවූ ගනුදෙනු ඔස්සේ අලාභයක් සිදුවී නොමැති බවට මෙම තොරතුරු ඔස්සේ හිටපු මන්ත්‍රීවරයා පැමිණ ඇති නිගමනය සම්බන්ධයෙන්ද අපි තක්සේරු කොට බැලුවෙමු. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), විගණකාධිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති කොමිසම සහ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි පාර්ශවයන් මගින් සිදුකළ විවිධ පරීක්ෂණයන් ඔස්සේ මේ වනවිටත් තීන්දු වී ඇත්තේ අලාභයක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු සිදුවෙමින් පවතී. එනිසා, වර්තමාන තත්වය වන්නේ මෙම අලාභයන් පියවා ගැනීමේ හැකියාවක් තිබීම මිස අලාභයන් පියවා ගැනී තිබීමක් නොවේ. එනිසා, මේ ඔස්සේ රටට අලාභයක් වී නැතැයි හිටපු මන්ත්‍රීවරයා දක්වන තර්කය යතාර්ථයෙන් ඔබ්බට යෑමක් මිස යතාර්ථය නොවේ.

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සහ ඇස්තමේන්තුගත අලාභයන් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල නිවැරදි වේ. කෙසේ වුවත්, 2015 ජනවාරියෙන් පසු සිදුවූ බැඳුම්කර ගනුදෙනු නිසා සිදුවූ අලාභය සම්බන්ධයෙන් ඔහු පවසන කරුණ සනාථ කළ නොහැක්කේ, වත්කම් ඔස්සේ අවසාන වශයෙන් අලාභ පියවා ගැනීමේ ක්‍රියාපටිපාටිය තවමත් ඉෂ්ට වී නොමැති හෙයිනි.

එනිසා, හිටපු මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් අපි වර්ගීකරණය කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.



මූලාශ්‍රය

  • බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2002 ජනවාරි 01 සිට 2015 පෙබරවාරි 28 දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනයවාර්තාව 1 (2019 නොවැම්බර්)පිටු. 74, 148, වාර්තාව 1 සඳහා ප්‍රවේශය මෙතැනින්  [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • බීඩීඕ ඉන්දියා, ශ්‍රී ලංකා මහ බැංකුව, 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කර සහ මහා භාණ්ඩාගාරයට ප්‍රේෂණය වූ අරමුදල් පිළිබඳ විමර්ශනයේ වාර්තා අංක 4 (2019 නොවැම්බර්), පි. 211, වාර්තාව සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), ‘Statement by the Monetary Board of the Central Bank of Sri Lanka’, ප්‍රවේශය මෙතැනින්: https://www.cbsl.gov.lk/en/node/2627[අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • නාමිනි විජේදාස, ‘Bank accounts of 28 PTL companies frozen’, ද සන්ඩේ ටයිම්ස්(2018 ජනවාරි 28), ප්‍රවේශය මෙතැනින්:http://dbsjeyaraj.com/dbsj/archives/57393 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • ‘Freeze of Perpetual Treasuries assets further extended’, ඩේලි එෆ්ටී(2018 පෙබරවාරි 02), ප්‍රවේශය මෙතැනින්: http://www.ft.lk/financial-services/Freeze-of-Perpetual-Treasuries-assets-further-extended/42-648634 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයන් සෙවීම සඳහා විශේෂ කමිටුවක් ලෙසින් ක්‍රියා කරනු ලැබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවපාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 109. (2016 ඔක්තෝබර්), පි. 48, ප්‍රවේශය මෙතැනින්:https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020මාර්තු 10].
  • විගණකාධිපති දෙපාර්තමේන්තුව2015 පෙබරවාරි සිට 2016 මාර්තු දක්වා කාලය තුල භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් 2016 ජූනි 29 දින නිකුත් කළ විශේෂ විගණන වාර්තාවට පසු, 2016 සැප්තැම්බර් 23 දක්වා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ විගණකාධිපති විසින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුකූලව යාවත්කාලීන කරනු ලැබූ විශේෂ විගණන වාර්තාව, පි. 53, ප්‍රවේශය මෙතැනින්:http://www.auditorgeneral.gov.lk/web/images/special_report/Bond_report/english.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • විගණකාධිපති දෙපාර්තමේන්තුව, 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 43 (2) කාණ්ඩය ප්‍රකාරව මුදල් ඇමතිවරයා වෙත යැවූ වාර්තාව(2008-2016), ප්‍රවේශය මෙතැනින්:http://www.auditorgeneral.gov.lk/web/images/special_report/Bond_report/direct_placement/Bond-Report-on-direct-placement-ceylon-bank-of-srilanka.pdf[අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].
  • ජනාධිපති විමර්ශන කොමිසම, 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය අතරතුර නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශන විභාගයන් පවත්වා වාර්තා කිරීමට පත් කරනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව, පි.931, වාර්තාව සඳහා ප්‍රවේශය මෙතැනින් [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 10].