සජිත් ප්‍රේමදාස

පා.ම. සජිත් ප්‍රේමදාස ළමා දරිද්‍රතාවය ගැන හරියට හරි

"

ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන අනුව ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන 25% ක් දරුවෝ ඉන්නවා […] සංඛ්‍යාලේඛනවලින් පෙන්නලා තිබෙනවා බහුමාන දුගීභාවයෙන් අපේ රටේ දරුවන් 42% ක් පෙළෙන බව

හිරු ප්‍රවෘත්ති | ජූලි 22, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

 ( i ) ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 25% ක් (ආදායම පදනම් කරගත්) දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, (ii) ළමුන්ගෙන් 42% ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් පවසමින් පා.ම සජිත් ප්‍රේමදාස විසින් අවධාරණය කරන ලද්දේ රජය විසින් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර ඊට විසඳුම් ලබා දීම අවශ්‍ය වන බවයි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව විසින්2023 ට අදාළව පළ කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ දරිද්‍රතාවය සහ සාධාරණත්වය පිළිබඳ කෙටි වාර්තාව (Poverty & Equity Brief on Sri Lanka2023) සහ UNICEF සංවිධානය විසින් 2019 ට අදාළව ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය විසින් පළ කර ඇති දරිද්‍රතා සංඛ්‍යාලේඛන පරිශීලනය කරන ලදි.

ආදායම පදනම් කරගත් ළමා දරිද්‍රතාවය: ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2019 දී 11.3% ක් වූ බවත්, 2023 දී 25% ක් වූ බවත් ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබේ. මෙම ඇස්තමේන්තුව, ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට ඇමෙරිකා එක්සත් ජනපදයේදී එ.ජ.ඩොලර් 3.65 ක් වටිනා භාණ්ඩ පරිභෝජනය කිරීමට අවශ්‍ය දෛනික ආදායම මත පදනම් වූ දරිද්‍රතා රේඛාවක් භාවිතා කරයි. ලෝක බැංකුව විසින් ළමා දරිද්‍රතාවයට අදාළ සංඛ්‍යා විශේෂයෙන් වාර්තා නොකරනු ලැබේ.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පළ කර ඇති දරිද්‍රතා සංඛ්‍යාලේඛන අතුරින් ප්‍රවේශ විය හැකි නවතම දරිද්‍රතා ප්‍රතිශතය 2019 දී වාර්තා වූ අතර එය 14.3% ක් විය. මෙම ප්‍රතිශතය එම වසරටම අදාළ ලෝක බැංකු ඇස්තමේන්තුවට වඩා මඳක් වැඩි අගයකි . එමෙන්ම, 2019 දී වයස අවුරුදු 0-17 දක්වා වයසැති ළමුන් අතර ළමා දරිද්‍රතාවය 16.8% ක් වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. දරුවන් වැඩි සංඛ්‍යාවක් සහිත කුටුම්භවල සාමාන්‍ය ඒක පුද්ගල ආදායම අඩු වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් ළමා දරිද්‍රතාවය සමස්ත දරිද්‍රතාවයට වඩා ඉහළ මට්ටමක පවතින බවට අපේක්ෂා කිරීම සාධාරණ වේ.

එබැවින්, ලෝක බැංකුවේ දත්ත සැලකූ විට ද, 2023 දී ළමා දරිද්‍රතාවය 25% ට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර, මෙය පා.ම. ප්‍රේමදාසගේප්‍රකාශයට අනුකූල වේ.

ළමා බහුමාන දරිද්‍රතාවය : අවුරුදු 0-4 අතර ළමුන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන තත්ත්වය සහ ළමා සංවර්ධනය වැනි ක්ෂේත්‍රවලට අදාළව අත්විදින අඩුලුහුඬුකම් ශ්‍රී ලංකාවේ ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය මගින් මනිනු ලැබේ. 2019 දත්ත මත පදනම්ව 2023 දී පළ කරන ලද වාර්තාවක ළමා බහුමාන දරිද්‍රතාවය 42.2% ක් ලෙස දක්වා ඇත.

ලෝක බැංකුවේ සහ UNICEF සංවිධානයේ සංඛ්‍යාලේඛන මගින් ළමා දරිද්‍රතාවය පිළිබඳව පා.ම. ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශය තහවුරු කෙරේ. එබැවින්, අපි ඔහුගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: පා.ම. උපුටා දක්වන ලද සංඛ්‍යාලේඛන දෙක අදාළ වන්නේ එකිනකෙට වෙනස් වයස් කාණ්ඩ දෙකක ළමුන් සඳහා වේ. 25% ක් වූආදායම මත පදනම් වන දරිද්‍රතා සංඛ්‍යාලේඛනය අවුරුදු 0-17 අතර ළමුන් සඳහා අදාළ වේ. බහුමාන දරිද්‍රතා දර්ශකයේ සංඛ්‍යාලේඛනය අදාළ වන්නේ වයස අවුරුදු 0-4 අතර ළමුන් සඳහා පමණක් වන අතර, එමගින් අවුරුදු 5-17 අතර ළමුන්ගේ බහුමාන දරිද්‍රතාවය තක්සේරු නොකෙරේ.



මූලාශ්‍රය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අප්‍රේල් 2022. දරිද්‍රතා දර්ශක 2019. ප්‍රවේශය: http://www.statistics.gov.lk/Poverty/StaticalInformation/PovertyIndicators-2019

ලෝක බැංකු දරිද්‍රතාවය සහ සාධාරණත්වය පිළිබඳ කෙටි වාර්තාව, අප්‍රේල් 2023. ප්‍රවේශය: https://databankfiles.worldbank.org/public/ddpext_download/poverty/987B9C90-CB9F-4D93-AE8C-750588BF00QA/current/Global_POVEQ_LKA.pdf .

UNICEF, 2023. ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 ප්‍රතිඵල: ජාතික සහ ළමා විශ්ලේෂණය. ප්‍රවේශය: https://www.unicef.org/srilanka/reports/sri-lankas-multidimensional-poverty-index-2019-results

අතිරේක විස්තර: https://factcheck.lk/factcheck/mp-hashim-spells-out-the-increase-of-poverty-in-sri-lanka/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.