සජිත් ප්‍රේමදාස

දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස නිවැරදියි

"

…අපේ රටේ පාර්ලිමේන්තු [කාන්තා] නියෝජිකත්වය වැඩි කරන්නට බැරි වී තිබෙනවා. අපේ රටේ අදටත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 5.8%ක මට්ටමකයි. අපේ රජයට හැකි වුණා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක මට්ටමට පත් කිරීමට.

මව්බිම | ඔක්තෝබර් 22, 2019

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශයන් තුනක් සිදුකරයි: (අ) වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% කි; (ආ) පාර්ලිමේන්තුවේ සිටිනා කාන්තාවන් සංඛ්‍යාව සෑම කාලයකම අඩු මට්ටමක පැවතුණි; (ඇ) 2015-2019 රජය සමයේදී පළාත් පාලන අධිකාරීන්හි කාන්තා නියෝජනය 25% ක මට්ටමට වැඩි වී තිබේ.

FactCheck.lk මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ උක්ත ප්‍රකාශයන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත ඇසුරු කරගනිමින් තක්සේරු කොට ඇත.

වගු අංක 1 ඔස්සේ පෙන්වා දෙන ආකාරයට පළමුවෙනි ප්‍රකාශය තුළදී මන්ත්‍රීවරයා නිවැරදි වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ තේරී පත් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 13 ක් (එසේත් නැතිනම් 5.8% ක්) කාන්තාවන් වේ.1 එසේම මන්ත්‍රීවරයාගේ දෙවන ප්‍රකාශයද නිවැරදි යැයි පෙන්වා දිය හැක. 1989 වසරේ සිට අද දිනය වන තුරුම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සාමාන්‍යය 5.3% ක් විණි. ගෝලීය සම්මතයන්ට අනුව සැලකීමේදී පවා මෙම මට්ටම අවම අගයක් ලෙසින් සැලකිය හැක. අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) සහ කාන්තාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UN Women) මගින් 2019 ජනවාරි මාසය වන විට කාන්තාවන්ගේ පාර්ලිමේන්තු නියෝජන ප්‍රතිශතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කොට තිබුණේ, රටවල් 193 කින් 183 වන ස්ථානයේයි.

2011 දී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වුණු කාන්තාවන්ගේ ප්‍රතිශතය 1.9% ක් විණි. 2017 දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) ආඥා පනත මගින් කාන්තා නියෝජනය 25% විය යුතු බවට විධිවිධාන නියම කරන ලද අතර, 2018 පළාත් පාලන මැතිවරණයේදී මෙම නියමය අනුගමනය කෙරිණි. මෙයද මන්ත්‍රීවරයාගේ තුන්වන ප්‍රකාශය හා සැසඳෙයි.

උක්ත දක්වා ඇති තොරතුරු මත පදනම්ව, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සත්‍ය වේ යැයි අපි කියමු.

සැලකිය යුතුයි: කාන්තා නියෝජනය සඳහා වන පංගු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ දුර්වලතා පවතින අතර, 2018 වසරේදී තේරී පත් වුණු සැබෑ කාන්තා ප්‍රතිශතය පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම මගින් ප්‍රසිද්ධියට පත් කොට නැත. වෙරිටේ රිසර්ච් මගින් ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට අඩුම තරමින් 15% ක කාන්තා නියෝජනයක් ඇත. නිල නොවන අදහස් හුවමාරුව ඔස්සේ මැතිවරණ කොමිෂන් සභාව ලබා දුන් තොරතුරු අනුව මෙම අගය 22.1% ක් වේ.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද නිසි ලෙස යාවත්කාලීන කිරීමට අප සුදානම්.

වගුව 1: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය (1989 සිට අද දක්වා)



Additional Note

1 වර්තමාන පාර්ලිමේන්තුව -එනම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වෙනි පාර්ලිමේන්තුව- සඳහා තේරී පත්ව ඇත්තේ කාන්තාවන් 13 දෙනෙකුගෙන් 12 දෙනෙකි. 2017 මාර්තු 03 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රිණී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය දැරීමට නුසුදුසු යැයි තීන්දු කෙරුණේ, ඇය ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය යන දෙරටේම ද්විත්ව පුරවැසිභාවය දැරීම නිසාවෙනි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට අනුකූලව, ද්විත්ව පුරවැසිභාවය දරන කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නොහැක. මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ (සංශෝධිත) 91(1)(d)(xiii) කොටස බලන්න.


මූලාශ්‍රය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, සාමාජිකාවන්, ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/lady-members

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, Women in elections, ප්‍රවේශය මෙතැනින්: https://elections.gov.lk/web/en/all-inclusive-election/women-in-elections/

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත 2017, ප්‍රවේශය මෙතැනින්: https://elections.gov.lk/web/wp-content/uploads/publication/acts/16-2017_E.pdf

අන්තර් පාර්ලිමේන්තු සංගමය, Women in Politics: 2019, ප්‍රවේශය මෙතැනින්: https://www.ipu.org/resources/publications/infographics/2019-03/women-in-politics-2019

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව (2015 මැයි 15 වන දිනට සංශෝධිත ආකාරයට), ප්‍රවේශය මෙතැනින්: https://www.parliament.lk/files/pdf/constitution.pdf

වෙරිටේ රිසර්ච්, Women’s quota in local authority elections: Outcomes will fail the promise, ප්‍රවේශය මෙතැනින්: https://www.veriteresearch.org/2018/02/09/womens-quota-in-local-authority-elections-outcomes-will-fail-the-promise/