Picture of
මුජිබර් රහ්මාන්

දිට්වා නිවේදන ගැන පා.ම. මුජිබුර් රහුමාන්ගේ ප්‍රකාශය වැරදියි!

"

විශේෂයෙන්ම නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් ඔවුන්ගේ කටයුත්ත ඉෂ්ට කරලා තියෙනවායි කියන එක අපි ජනතාවට ඒත්තු ගන්වන්න ඕනේ…දැන් මේ තිබෙන විශේෂයෙන්ම මාධ්‍ය වලට ප්‍රකාශ කරපු ඒ කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රකාශ වලින් පේනවා, ඔවුන් නොවැම්බර් 11 වෙනිදා ඉඳන් නොවැම්බර් 23 වෙනිදා වෙනකම් ඔවුන් මාධ්‍ය වලට ඇවිල්ලා

ඩේලි මිරර් පුවත්පතේ ෆේස්බුක් පිටුව | දෙසැම්බර් 4, 2025

false

වැරදියි

තොරතුරු පිරික්සීම

2025 දෙසැම්බර් 4 වැනි දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. මුජිබුර් රහුමාන් පවසා සිටියේ, 2025 නොවැම්බර් 11 සිට නොවැම්බර් 23 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meterology – DoM) පවත්වන ලද මාධ්‍ය හමු මගින් පෙනී යන්නේ එවකට මුහුණ දුන් “දිට්වා” (Ditwah) සුළි කුණාටුව වැනි තත්ත්වයක් රට තුළ “ඇති විය හැකි” බවට කලින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් “තම කටයුත්ත ඉෂ්ට කර” ඇති බවට ඔහු තර්ක කළේය.

2025 නොවැම්බර් 11 වැනි දින සිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටු සම්බන්ධ මහජන අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිය කාර්යභාරය ඉටු කළේ ද යන්න විමසා බැලීමෙන් FactCheck.lk මෙම ප්‍රකාශයේ සත්‍යාඅසත්‍යභාවය ඇගයීමට ලක් කරයි.

  • සුළි කුණාටු සම්බන්ධ‘ (cyclone-relevant) අනතුරු ඇඟවීමක් ලෙස මෙහිදී අප සලකා ඇත්තේ කුමක් ද?

ශ්‍රී ලංකාව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (World Meteorological Organization) සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසමේ (Economic and Social Commission for Asia and the Pacific -ESCAP) නිවර්තන සුළි කුණාටු පිළිබඳ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුළි කුණාටු අනතුරු ඇඟවීමේ අංශය හා ඒකාබද්ධව පිහිටුවා ඇති නිවර්තන සුළි කුණාටු පිළිබඳ කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය – නව දිල්ලිය (Regional Specialised Meteorological Centre – Tropical Cyclones New Delhi (RSMC-TCND)), මෙම කලාපයේ (උතුරු ඉන්දියානු සාගර කලාපය) සුළි කුණාටු නිරීක්ෂණය සහ උපදේශන සැපයීම සඳහා වන නිල පදනම දරයි. RSMC-TCNDහි අර්ථ දැක්වීම අනුව, “පීඩන අවපාත” (depression) මට්ටම හෝ ඊට ඉහළට පද්ධතීන් වර්ධනය වීම “සුළි කුණාටු ජනනය” (cyclogenesis) ලෙස හැඳින්වේ. මෙම කරුණු පරීක්ෂාව සඳහා, “සුළි කුණාටු සම්බන්ධ” අනතුරු ඇඟවීමක් ලෙස සලකනු ලබන්නේ හුදෙක් වර්ෂාපතනය ගෙනෙන අඩු පීඩන කලාපයක් පවතින බවට සිදු කරන ප්‍රකාශයන් නොව, එය පීඩන අවපාතයක් හෝ ඊට වැඩි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට නිල වශයෙන් සන්නිවේදනය කරන අවස්ථාවේ සිට පමණි.

  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන්ම සුළි කුණාටු සම්බන්ධ මහජන අනතුරු ඇඟවීමක් නිකුත් කළේ කවදා ද?

මෙහිදී FatctCheck.lk විසින් මෙම කරුණු පරීක්ෂාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් (Facebook) පිටුවේ දිනපතා පළ කරන ලද නිල අනාවැකි පරීක්ෂා කරන ලදි. ඒ අනුව, “පීඩන අවපාතයක්” (depression) පිළිබඳව සඳහන් වන පළමු පැහැදිලි අනතුරු ඇඟවීම නොවැම්බර් 21 වැනි දින සාගර ප්‍රදේශ සඳහා වූ අනාවැකියේ දක්නට ලැබුණ ද, එදින සාමාන්‍ය කාලගුණ අනාවැකියේ එය සඳහන් නොවීය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල පිටුවල පළ නොවූ නමුත් විවිධ ප්‍රවෘත්ති නාලිකාවල පළ කරන ලද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡා ද අප විසින් පරීක්ෂා කරනු ලැබූ අතර, එහිදී ධීවරයින් සඳහා වූ සුළි කුණාටු සම්බන්ධ අනතුරු ඇඟවීමක් නොවැම්බර් 20 වැනි දින සන්නිවේදනය කර තිබිණ. ඊට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි කිසිදු අනතුරු ඇඟවීමක් නිකුත් වී නොමැති අතර, නොවැම්බර් 25 දින කාලගුණ පද්ධතිය පිළිබඳ විශේෂ යාවත්කාලීන කිරීමක් නිකුත් කරන තෙක් දෛනික කාලගුණ අනාවැකිවල ද ඒ පිළිබඳව සඳහන් නොවීය.

ඒ අනුව, එකී විශේෂිත කාලසීමාව සම්බන්ධයෙන් පා.ම. සඳහන් කළ කරුණ නිරවද්‍ය නොවේ. මේ අනුව පෙනී යන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “නොවැම්බර් 11 සිටම” සුළි කුණාටු සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවයි. වාර්තා වී ඇති මුල්ම නිල අනතුරු ඇඟවීම නොවැම්බර් 21 දින නිකුත් කර ඇති අතර, මාධ්‍ය සාකච්ඡා ඇසුරින් මේ සම්බන්ධයෙන් හමු වන මුල්ම අවස්ථාව නොවැම්බර් 20වැනි දින වේ.

  • නොවැම්බර් 11-19 කාල පරාසය තුළ මීට ප්‍රථම මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ප්‍රමාණවත් තොරතුරු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබුණේ ද?

අනතුරු ඇඟවීම් ආරම්භ වූ බවට පා.ම. සඳහන් කළ දිනය නිවැරදි නොවුව ද, එම කාලසීමාව තුළ එවැනි තොරතුරු නොතිබුණේ නම්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “තම කටයුත්ත ඉෂ්ට කරා” යනුවෙන් පා.ම. ඉදරිපත් කරන පුළුල් තර්කය නිවැරදියි යැයි ගත හැක. එහෙත් පවතින වාර්තාවලින් පෙනී යන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව සිය මුල්ම අනතුරු ඇඟවීම නිකුත් කිරීමට පෙර සිටම, RSMC-TCND හි නිල වාර්තාවල “දිට්වා” හා සම්බන්ධ තොරතුරු ඇතුළත්ව තිබූ බවයි.

නොවැම්බර් 13 වැනි දින RSMC-TCND නිකුත් කළ විස්තීරණ පුරෝකථන වාර්තාවෙහි (Extended Range Outlook (Cyclogenesis)), නොවැම්බර් 21-27 කාලය තුළ දකුණු බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාවට ආසන්න ප්‍රදේශවල සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමේ 40%-60% ක සම්භාවිතාවයක් පවතින බවට සුළි කුණාටු සම්බන්ධ අනතුරු අඟවීමක් ඇතුළත්ව තිබිණ. තව ද, RSMC-TCND පළ කර ඇති දිට්වා පිළිබඳ මූලික වාර්තාවේ මෙන්ම RSMC-TCNDහි 2025 ට අදාළ වාර්ෂික වාර්තාවේ ද (2.16.3 කොටස, 286 පිටුව; 4.3.4.1 කොටස, 363 පිටුව) ප්‍රකාශ කර ඇත්තේ “නොවැම්බර් 26 දින පීඩන අවපාතය ඇති වීමට දින 13කට පෙර සිට”, එනම් නොවැම්බර් 13 සිටම “දිට්වා” කුණාටුව නිරීක්ෂණය කරමින් සිටි බවයි.

කෙටියෙන් පවසතොත්, නොවැම්බර් 13 සිට සුළි කුණාටු සම්බන්ධ තොරතුරු පැවතිය ද, නොවැම්බර් 21 තෙක් නිල කාලගුණ අනාවැකිවල (හෝ නොවැම්බර් 20 වැනි දින තෙක් වෙනත් කිසිදු ආකාරයකින්) එය පිළිබිඹු නොවිණ.

මේ අනුව, දැනට පවතින කරුණු සැලකූ විට, නොවැම්බර් 11 සිට සුළි කුණාටු සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් නිලධාරීන් “තම කටයුත්ත ඉෂ්ට කරා” යනුවෙන් පා.ම. සිදු කළ ප්‍රකාශය තහවුරු නොවේ. පළමුව, කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් සුළි කුණාටු සම්බන්ධ අනතුරු අඟවීම් නිකුත් කරන ලද්දේ නොවැම්බර් 11 සිට නොවේ; එලෙස සිදු කරන ලද පැහැදිලි මුල්ම අනතුරු ඇඟවීම හමු වනුයේ නොවැම්බර් 20 වැනි දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී ය. දෙවනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නොවැම්බර් 25තෙක් නිල කාලගුණ අනාවැකි හරහා දිට්වා පිළිබඳ සුළි කුණාටු සම්බන්ධ අනතුරු ඇඟවීම් සන්නිවේදනය වී නොමැති වුව ද, නොවැම්බර් 13 සිටම RSMC-TCND හි වාර්තාවල දිට්වා කුණාටුව පිළිබඳ එකී තොරතුරු තිබී ඇත.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අතිරේක සටහන 1: 2025 වර්ෂය සඳහා වූ RSMC-TCND වාර්ෂික වාර්තාවේ සඳහන් වන පරිදි මෙම සුළි කුණාටුව පිළිබඳ පුරෝකථනයන් ප්‍රධාන වශයෙන්ම ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‌ගොඩ නඟන ලද ‘බහු-මාදිලි ඒකකය’ (multi-model ensemble – MME) තාක්ෂණය මත පදනම්ව සිදු කර ඇත. සුළි කුණාටු ජනනයට (cyclogenesis) දින 11-12 කට පමණ පෙර සිටම එම පද්ධතියේ සලකුණු හඳුනා ගැනීමටත්, එය නිරීක්ෂණය කිරීමටත් MME තාක්ෂණය සමත් බව ගනේෂ් සහ පිරිස (2019) පෙන්වා දෙති. කෙසේ වෙතත්, පද්ධතිය ජනනය වන ස්ථානය පිළිබඳ නිවැරදි අනාවැකි පළ කිරීමේදී මෙහි යම් සීමාවන් පවතින බව ද මෙහි දක්වා තිබේ. “දිට්වා” සුළි කුණාටුව පිළිබඳ පුරෝකථනයේදී ද මෙය මනාව සනාථ විය.

අංක 1 වගුව: අඩු පීඩන පද්ධතිවල කාලරාමුව සහ සුළි කුණාටු ජනනය පිළිබඳ නිල වාර්තා සහ අනතුරු ඇඟවීම් (RSMC-TCND සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DoM)), 2025 නොවැම්බර් 6–27

** අඩු පීඩන පද්ධති සහ මතු විය හැකි සුළි කුණාටු ජනන තත්ත්වයන්ට අදාළ තොරතුරු පමණක් පහත වගුවට ඇතුළත් කර ඇත. FactCheck.lk හි නිරීක්ෂණ මෙහි ඇල අකුරින් දක්වා ඇත. නොවැම්බර් මස අග භාගයේදී “දිට්වා” වර්ධනය වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (DoM) විසින් ෆේස්බුක් (Facebook) නිවේදන කිහිපයක් නිකුත් කරන ලද අතර සංක්ෂිප්තභාවය තකා, අප මෙහි ඇතුළත් කර ඇත්තේ පද්ධතියේ වෙනසක් පෙන්නුම් කළ සටහන් පමණි. 2025 නොවැම්බර් මාසයේදී බෙංගාල බොක්කෙහි විටින් විට ඇති වූ අඩු පීඩන පද්ධති තුනක බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වූ අතර, ඉන් අවසන් පද්ධතිය “දිට්වා” සුළි කුණාටුව විය. මෙම ලේඛනය මගින් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ/RSMC-TCND හි නිල වාර්තා සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහජන අනතුරු ඇඟවීම් ඇසුරින් එම පද්ධතිවල සංසන්දනාත්මක කාලරාමුවක් ඉදිරිපත් කරනු ලැබේ.

See Table 1 with clickable links here.



මූලාශ්‍රය

  • බෙංගාල බොක්ක සහ අරාබි මුහුද සඳහා වූ නිවර්තන සුළි කුණාටුවලට අදාළ මෙහෙයුම් සැලැස්ම – 2024 සංස්කරණය (ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ තාක්ෂණික ලේඛනයකි) – https://community.wmo.int/site/knowledge-hub/programmes-and-initiatives/tropical-cyclone-programme-tcp/tropical-cyclone-operational-plans
  • ශ්‍රී ලංකාව කෙරෙහි නිවර්තන සුළි කුණාටු මගින් ඇති විය හැකි ආපදා පිළිබඳ වාර්තාව –https://www.dmc.gov.lk/images/hazard/hazard/Report/UNDP%20BOOK%20CHAP%2009_%20TROPICAL%20CYCLONES.pdf
  • ඉන්දියාවේ සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම්: සම්මත මෙහෙයුම් පටිපාටිය, ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, 2024 සංස්කරණය – https://rsmcnewdelhi.imd.gov.in/report.php?internal_menu=NjE=
  • “දිට්වා” කුණාටුව (Ditwah) පිළිබඳ RSMC-TCND හි මූලික වාර්තාව –https://rsmcnewdelhi.imd.gov.in/download.php?path=uploads/report/26/26_6943b16488196.pdf
  • 2025 වසර තුළ උතුරු ඉන්දීය සාගරයේ ඇති වූ සුළි කුණාටු කැළඹීම් පිළිබඳ RSMC-TCND වාර්තාව (2025 සඳහා වූ වාර්ෂික වාර්තාව) – https://rsmcnewdelhi.imd.gov.in/download.php?path=uploads/report/27/27_c8dbd0_0_COVER_PAGE_RSMC_Report_2025.pdf
  • ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (DoM) නිල ෆේස්බුක් (Facebook) පිටුව –https://www.facebook.com/SLMetDept
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පවත්වන ලද සහ විවිධ පුවත් වෙබ් අඩවි හරහා ලබාගන්නා ලද මාධ්‍ය දැනුවත් කිරීම්
  • RSMC-TCND හි විස්තීරණ පුරෝකථන වාර්තා (සුළි කුණාටු ජනනය) (Extended Range Outlook (Cyclogenesis) –https://rsmcnewdelhi.imd.gov.in/archive-information.php?internal_menu=MjQ=&menu_id=Mg==
  • RSMC-TCND හි නිවර්තන කාලගුණ වාර්තා (Tropical Weather Outlook), විශේෂ නිවර්තන කාලගුණ වාර්තා (Special Tropical Weather Outlook) සහ සුළි කුණාටු උපදේශන (Cyclonic Storm Advisories)
  • ආනන්ද කුමාර් දාස්, ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද උතුරු ඉන්දීය සාගරයේ නිවර්තන සුළි කුණාටු පිළිබඳ දේශගුණ විද්‍යාව –https://severeweather.wmo.int/TCFW/NewDelhi_Training2022/1_Climatology-of-TC-over-NIO-4th-April2022.pdf
  • ෂර්මා, එම්., මොහපත්‍රා, එම්., සහ සුනීතා, පී. (2025). උතුරු ඉන්දීය සාගරයේ සුළි කුණාටු ඇතිවීම පිළිබඳ ක්‍රියාකාරී විස්තීරණ පුරෝකථන ඇගයීම. නිවර්තන සුළි කුණාටු පර්යේෂණ සහ සමාලෝචන, 14(1), 82–103. https://www.sciencedirect.com/science/article/pii/S2225603225000062?ref=pdf_download&fr=RR-2&rr=9c5620f85eac513a
  • සරණ්‍යා ගනේෂ්, එස්., අභිලාෂ්, එස්., සහායි, ඒ.කේ. සහ පිරිස. බහු-මාදිලි ඒකක රාමුවක් යටතේ උතුරු ඉන්දීය සාගරයේ පූර්වමෝසම් සුළි කුණාටු ජනනය සහ ගමන් මඟ පුරෝකථනය කිරීම. ස්වාභාවික ආපදා 95, 823–843 (2019). https://link.springer.com/article/10.1007/s11069-018-3522-6
  • උතුරු ඉන්දීය සාගරයේ සුළි කුණාටු කැළඹීම් පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව, සුළි කුණාටු අනතුරු ඇඟවීමේ අංශය, ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – https://rsmcnewdelhi.imd.gov.in/images/pdf/terminology.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.