අලි සබ්රි

දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි

"

1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික

පාර්ලිමේන්තුව | ජූනි 7, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

අපනයන වර්ධනය හේතු කොට ගෙන බංග්ලාදේශයේත් වියට්නාමයේත් ආර්ථිකයන් 1991 සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අභිබවා වර්ධනය වී ඇති බව අමාත්‍ය අලි සබ්රි විසින් තර්ක කරන ලදි. මෙම තර්කය සනාථ කිරීම සඳහා, 1991 ට සහ 2023 ට අදාළව එම රටවල් තුනෙහි අපනයනවල වටිනාකම මෙහිදී ඔහු උපුටා දක්වයි. බංග්ලාදේශයේ සහ වියට්නාමයේ අපනයන වර්ධනය ශ්‍රී ලංකාවට වඩා කිහිප ගුණයකින් විශාල බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.  

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ලෝක බැංකුව විසින් වාර්තා කර ඇති අපනයන, ආනයන සහ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අදාළ සංඛ්‍යාලේඛන පරිශීලනය කරන ලදි. 

අමාත්‍යවරයා සඳහන් කළ සංඛ්‍යා හයෙන් පහක නොගැලපීම් ඇති බව මෙහිදී FactCheck.lk විසින් හඳුනා ගන්නා ලදි. 

1991 දී බංගලාදේශයේ අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 2.2 ක් නොව එ.ජ.ඩොලර් බිලියන 2.1 ක් වශයෙන් ලෝක බැංකුව වාර්තා කර තිබූ අතර , ශ්‍රී ලංකාව සඳහා එය එ.ජ.ඩොලර් බිලියන 2.8 ක් නොව එ.ජ.ඩොලර් බිලියන 2.6 ක් වශයෙන් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, ලෝක බැංකුවේ දත්ත, වියට්නාමය සඳහා අමාත්‍යවරයා උපුටා දක්වා ඇති එ.ජ.ඩොලර් බිලියන 3 ක අගය සමඟ සමපාත වේ. 

එසේම, 2023 දී (ලබා ගත හැකි නවතම දත්ත), බංග්ලාදේශයේ අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 87 ක්  නොව එ.ජ.ඩොලර් බිලියන 58 ක් වශයෙන් ලෝක බැංකුව වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 16 ක් නොව එ.ජ. ඩොලර් බිලියන 17 ක් වශයෙන් වාර්තා කර තිබිණි. එමෙන්ම, වියට්නාමයේ අපනයනවල වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 464 ක් නොව එ.ජ.ඩොලර් බිලියන 374 ක් වශයෙන් වාර්තා කර තිබිණි. 

එසේ වුවද, පවතින කරුණු අනුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයට පදනම් වූ අදහස කෙරෙහි අවධානය යොමු කළ විට පෙනී යන්නේ 1991 දී මෙම රටවල් තුනම සිදු කර ඇති අපනයනවල වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 3 ට වඩා අඩු බවයි. 2024 (2023 අවසානය) වන විට ශ්‍රී ලංකාවේ අපනයන හත් ගුණයකින් පමණක් වර්ධනය වී ඇති අතර, බංග්ලාදේශයේ අපනයනයන් 28 ගුණයකින් ද, වියට්නාමයේ අපනයනයන් 126 ගුණයකින් වර්ධනය වී ඇත. 

එබැවින්, අමාත්‍යවරයා උපුටා දැක්වූ සංඛ්‍යා බොහොමයක නොගැලපීම් ඇතත් – ඇතැම් නොගැලපීම් තරමක් දුරට විශාල වුව ද – නිවැරදි සංඛ්‍යාලේඛන මගින් අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙහි ඇතුළත් අදහස තහවුරු කෙරේ. එනම්, 1991 සහ 2023 අතර බංග්ලාදේශය සහ වියට්නාමය පෙන්නුම් කළ අපනයන වර්ධනය ශ්‍රි ලංකාවට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩි වේ. 

එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

ලෝක බැංකුව, අපනයන, ආනයන සහ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අදාළ සංඛ්‍යාලේඛන 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.