බන්දුල ගුණවර්ධන

තර්කය සහ නිගමනය වැරදි වුනාට ඇමති බන්දුලගේ නිගමනය නිවැරදියි

"

අධිවේගී මාර්ග තැනීමට ලබාගත් නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 800ක්. වාර්ෂිකව ලබන ලාභය රුපියල් බිලියන පහක්. මෙලෙස දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා.

බන්දුල ගුණවර්ධන ගේ ෆේස්බුක් ගිණුම | අප්‍රේල් 8, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

අ) අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 800 ක විදේශ ණයක් ලබාගෙන ඇති බවත්, (ආ) අධිවේගී මාර්ගවලින් උපයන වත්මන් වාර්ෂික ලාභය (රු. බිලියන 5 ක) මත එම ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 160 ක් ගතවනු ඇති බවත් යන තර්ක ඉදිරිපත් කරමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අධිවේගී මාර්ග රජයට අයත් ආයෝජන සමාගමකට පැවරීම සාධාරණීකරණය කරයි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ (Road Development Authority) 2021 වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සපයන ලද සංඛ්‍යාලේඛන පරිශීලනය කරන ලදි.

මුදල් අමාත්‍යාංශයට අනුව, 2023 දෙසැම්බර් 31 වන විට, අධිවේගී මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලබා ගෙන ඇති මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ආපසු ගෙවීමට නියමිත ණය මුදල රුපියල් බිලියන 480.3 ක් මිස අමාත්‍යවරයා සඳහන් කළ පරිදි රුපියල් බිලියන 800 ක් නොවේ (අංක 1 වගුව බලන්න). මෙහිදී ඇතැම් විට අමාත්‍යවරයා මෙම ණය ප්‍රමාණයේ ආරම්භක මුළු වටිනාකම වූ එ.ජ.ඩොලර් මිලියන 2,809.48 ක මුදල (එ.ජ.ඩොලර් 1 = රු 300 මත රුපියල් බිලියන 843 ක්) අදහස් කරන්නට ඇති නමුත් එම මුදලින් කොටසක් මේ දක්වා කාලය තුළ ආපසු ගෙවා ඇත.

2021 දී අධිවේගී මාර්ගවලින් රුපියල් බිලියන 4.5 ක ශුද්ධ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වාර්තා කරයි. මෙය අමාත්‍යවරයා සඳහන් කළ රුපියල් බිලියන 5 ක අගයට ආසන්න වේ.

අමාත්‍යවරයාගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාව අධිවේගී මාර්ගවලින් වාර්ෂිකව උපයන ලාභය යොදා ගනිමින් ඉතිරි ණය මුදල පියවීමට නම් එම ණයපියවීමට ආසන්න වශයෙන් වසර 160 ක් ගතවනු ඇති බවයි. රුපියල් බිලියන 800, රුපියල් බිලියන 5 න් බෙදීමෙන් ඔහු මෙම සංඛ්‍යාව ගණනය කර ඇත.

කෙසේ වෙතත්, ණය ආපසු ගෙවීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ගණනය කිරීම පසුපස ඇති තර්කය දෙයාකාරයකින් දෝෂ සහිතවේ. පළමුව, වාර්ෂික ලාභය නොවෙනස්ව පවතිනු ඇති බව ඔහු මෙහිදී උපකල්පනය කරයි. උද්ධමනය සහ මාර්ග භාවිතය ඉහළ යාම හේතුවෙන් සිදු වීමට ඉඩ ඇති වර්ධනය ඔහු මෙහිදී නොසලකා හැර ඇති අතර මෙම කරුණු දෙක 8.5% ක වාර්ෂික නාමික වර්ධනයකට තුඩු දිය හැක (5% ක අපේක්ෂිත උද්ධමනයක් සහ දළ දේශීය නිෂ්පාදිතයේ 3% ට වඩා වැඩි වර්ධනයක් මත පදනම්ව).

දෙවනුව, ණය පියවීමේ පිරිවැයට ඇතුළත් වන පොලී පිරිවැය සහ මුදල් අවප්‍රමාණය වීම ඔහු නොසලකා හරියි. ණය සඳහා පොලී අනුපාත 2% සහ 6.3% අතර පවතී. ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ මෑතකදී එළැඹුණු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව සැලකූ විට, හිඟ ණය දළ වශයෙන් 30% කින් ප්‍රතිව්‍යුහගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 3% ක සාමාන්‍ය පොලී අනුපාතයක් ඇති කරයි. 5% ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන (රුපියල) අවප්‍රමාණය වීමේ අනුපාතයත් සමඟ, ඵලදායි පොලී පිරිවැය එවිට 8% ක් පමණ වනු ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම මුදල් අවප්‍රමාණය වීම ද සිදු වුවත්, අධිවේගී මාර්ගවලින් වර්තමානයේ උපයන ආදායම පොලී පිරිවැය ගෙවීමට තබා(රුපියල් බිලියන 480 න් 8%ක් යනු රුපියල් බිලියන 40ක් පමණ වේ), ණය මුදලේ හිඟ ප්‍රාග්ධනයේ වටිනාකම අඩු කිරීමට හෝ ප්‍රමාණවත් නොවන බව ඉහත සංඛ්‍යා පෙන්නුම් කරයි. එබැවින්, ණය ගෙවීමට ඇති එකම ක්‍රමය වනුයේ අධිවේගී මාර්ගවල ආදායමට අතිරේකව භාණ්ඩාගාරයේ ඒකාබද්ධ ආදායමෙන් ලැබෙන අරමුදල් ද ඒ සඳහා යෙදවීමයි.

අමාත්‍යවරයා ඔහුගේ තර්කය තහවුරු කිරීම සඳහා යොදා ගත් සංඛ්‍යා නිවැරදි අගයන්ගෙන් විශාල වශයෙන් වෙනස් වේ. රුපියල් බිලියන 480 ක් වන හිඟ ණය මුදල රුපියල් බිලියන 800ක් ලෙස ඔහු නිවැරදි නොවන ලෙස දක්වන කරන අතර අධිවේගී මාර්ගවල ආදායම මත ණය ආපසු ගෙවීමේ කාලය ගණනය කිරීමේදී ඔහු යොදා ගත් තර්කය ද දෝෂසහිතය. කෙසේ වෙතත්, මෙම වැරදි නිවැරදි කර ගත්ත ද, අධිවේගී මාර්ගවල ආදායමින් පමණක් ණය ගෙවා දැමීම සම්බන්ධයෙන් පවතින අභියෝගය ඔහු පවසන අන්දමටත් වඩා බරපතල වේ. අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය දෝෂ සහිත වුව ද, ඒ පසුපස ඇති පුළුල් අදහස වලංගු වේ: එනම්, අධිවේගී මාර්ග “වාණිජ්‍ය ව්‍යවසායයක්” ලෙස ක්‍රියාත්මක කිරීම, භාණ්ඩාගාරය මත පැනවෙන ණය සේවා බර ලිහිල් කිරීමට උපකාරී විය හැක.

එබැවින්, අපි අමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු.

අංක 1 වගුව: අධිවේගී මාර්ගවලට අදාළ හිඟ ණය බැඳීම්



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2023. https://www.treasury.gov.lk/api/file/ad12f7fa-d2db-43d4-9daa-9270ee7b7cac හරහා ප්‍රවේශ විය

මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව 2021. https://www.parliament.lk/uploads/documents/paperspresented/1704795000093592.pdf හරහා ප්‍රවේශ විය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.