ස්වස්තිකා අරුලිංගම්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ස්වස්තිකාගේ ප්‍රකාශය වැරදියි

"

සාමාන්‍යයෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රාජ්‍ය ණය අඩු කෙරෙනවා. [ඒත්] ශ්‍රී ලංකාව ණයහිමියන්ට දැනට තියෙන ණයවලින් 14% ක් වැඩිපුර ගෙවන්න යනවා.

ජන අරගල සන්ධානයේ ෆේස්බුක් පිටුව | දෙසැම්බර් 8, 2024

false

වැරදියි

තොරතුරු පිරික්සීම

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර පැවති ණය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආපසු ගෙවීමට සිදු වන බව ජන අරගල සන්ධානයේ 2024 මහ මැතිවරණ අපේක්ෂිකා ස්වස්තිකා අරුලිංගම් ප්‍රකාශ කර සිටී.

සියලුම ණය ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අවසාන ගිවිසුමට පෙර සැප්තැම්බර් මාසයේදී බැඳුම්කරහිමියන් සමඟ එළැඹි ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට ඇතුළත් කර තිබූ විදේශීය විකල්පය යටතේ ය(අතිරේක සටහන බලන්න) යන උපකල්පනය මත සිදු කරන ලද ගණනය කිරීම් පදනම් කරගනිමින් මෙම ප්‍රකාශය සිදු කර තිබේ. ඒ අනුව, මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk මුදල් අමාත්‍යාංශය විසින් පළ කර තිබූ ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එළැඹි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පරිශීලනය කළ අතර එහි ඇතුළත් විදේශීය විකල්පය (global option) ඇගයීමට ලක් කළේය.

කිසියම් රටක් එහි ණය බර ඵලදායි ලෙස අඩු කර තිබේ ද යන්න තීරණය කරන ප්‍රධාන මිනුම් දෙකකි:

  1. ආපසු ගෙවිය යුතු ප්‍රාග්ධනය අඩු කර තිබීම: ආපසු ගෙවිය යුතු සම්පූර්ණ මුල් මුදල අඩු වී තිබේ ද යන්න.
  2. පොලිය අඩු කර තිබීම: වාර්ෂික පොලී ගෙවීම් සඳහා අදාළ වන පොලී අනුපාතය අඩු කර තිබේ ද යන්න.

ශ්‍රී ලංකාව සැලකූ විට, සැප්තැම්බර් මාසයේ එළැඹි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම මගින් මෙම දෙඅංශයෙන්ම ණය බර අඩු කර තිබිණි.

පළමුව, මුල් මුදලට සාපේක්ෂව ප්‍රාග්ධන ආපසු ගෙවීම් එ.ජ.ඩොලර් මිලියන 12,550 සිට එ.ජ.ඩොලර් මිලියන 12,281 දක්වා අඩු කර තිබිණි (2.1%ක අඩු කිරීමක්). දෙවනුව, නාමික වාර්ෂික සාමාන්‍ය පොලී ගෙවීම් එ.ජ.ඩොලර් මිලියන 500 සිට එ.ජ.ඩොලර් මිලියන 393 දක්වා අඩු කර තිබිණි (21.4% ක අඩු කිරීමක්). පොලී අඩු කිරීම වඩාත් නිවැරදිව විස්තර කරන්නේ නම්, මුල් ප්‍රාග්ධන මුදල මත 6.7% ක් වශයෙන් පැවති  බරිත සාමාන්‍ය කූපන් අනුපාතය (පොලී අනුපාතය) ප්‍රතිව්‍යුහගත කරන ලද (අඩු කරන ලද) ප්‍රාග්ධන මුදල මත 4.0% දක්වා පහත දමන ලදැයි පැවසිය හැක.

මීට අමතරව, ආපසු ගෙවීමේ කාලය වසර 8 සිට වසර 16 දක්වා දීර්ඝ කරන ලද අතර, එමගින් ආපසු ගෙවීමේ කාලය දෙගුණ වී ඇත.

ස්වස්තිකා අරුලිංගම් අතින් මෙහිදී සිදු වී ඇති දෝෂය වනුයේ දීර්ඝ කරන ලද ආපසු ගෙවීමේ කාලය තුළ ගෙවිය යුතු පොලී ගෙවීම්, ඊට පෙර තිබූ වඩා කෙටි ආපසු ගෙවීමේ කාලය තුළ ගෙවිය යුතු පොලී ගෙවීම් සමඟ සංසන්දනය කිරීමයි.

වසර 8 කින් ගෙවීමට තිබූ ප්‍රමාණයට වඩා වැඩි පොලියක් වසර 16 ක් තුළ ගෙවනු ලබන බව සත්‍ය වුව ද, ණය බැඳීම් අඩු නොකළ බවට සිදු කළ ප්‍රකාශය මෙමගින් සනාථ නොවේ. සැබවින්ම, ප්‍රාග්ධනය සුළු වශයෙන් අඩු කරන ලද අතර, ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර පැවති ණය සඳහා අදාළ වූ පොලී අනුපාතයට සාපේක්ෂව නව පොලී අනුපාතය ද සැලකිය යුතු ලෙස අඩු කර තිබේ.

එබැවින්, අපි ස්වස්තිකා අරුලිංගම්ගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අංක 1 වගුව: ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර සහ පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආපසු ගෙවීම් වෙනස් වූ අයුරු

මූලාශ්‍රය: ලන්ඩන් කොටස් හුවමාරුව, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, වෙරිටේ රිසර්ච් ආයතනයේ ගණනය කිරීම්

 

අතිරේක සටහන: අවසානයට සිදු කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇතුළත් කර තිබූ දේශීය විකල්පය ස්වස්තිකා අරුලිංගම්ගේ ගණනය කිරීම්වලට ඇතුළත් කර නොමැත. ඇය මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී දේශීය විකල්පය පිළිබඳ විස්තර නිශ්චය කර ගැනීමට හැකියාවක් නොතිබිණි. එබැවින්, සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය විදේශීය විකල්පය යටතේ සිදු කර ඇතැයි යනුවෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමේදී උපකල්පනය කර ඇති අතර FactCheck.lk ද තම ගණනය කිරීම් එම උපකල්පනය මත පදනම්ව සිදු කර ඇත.



මූලාශ්‍රය

ප්‍රතිපත්තිමය එකඟතාව පිළිබඳ නිවේදනය, ලන්ඩන් කොටස් හුවමාරුව  https://www.londonstockexchange.com/news-article/70ZL/announcement-of-agreement-in-principle/16674142

ශ්‍රී ලංකාව විදේශීය ණයහිමියන් සමඟ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 17.5 ක වටිනාකමින් යුත් ස්වෛරීත්ව ණය සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවන්ට එළැඹේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය https://www.treasury.gov.lk/api/file/16dc614c-d9a9-47ff-94d6-aab0811e62ba

වෙරිටේ රිසර්ච් https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files/b256b518-3858-9a6e-d8e0-c79598223cae/20250327_Verite_Media_DebtReduction.docx.xlsx

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.