සුනන්ද මද්දුම බණ්ඩාර

ජනාධිපති උපදේශකවරයාගේ සංඛ්‍යාලේඛන නිවැරදි වුණත් අර්ථකථනය වැරදියි

"

2020 දී රටේ සේවා වියුක්ති අනුපාතය සියයට 5.5 දක්වා ඉහළ ගියේය. එය 2009න් පසු ශ්‍රී ලංකාව අත්විඳි ඉහළම සේවා වියුක්ති අනුපාතය විය. 2023 වන විට එම අගය සියයට 4.7 දක්වා පහළට ගෙන ඒමට රජයට හැකි වී තිබේ.

ලංකාදීප | මැයි 8, 2024

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

2020 දී 5.5% ක්ව තිබූ ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය (2009 න් පසු ඉහළම අගය) 2023 දී 4.7% දක්වා අඩු වූ බව ජනාධිපති උපදේශක සුනන්ද මද්දුම බණ්ඩාර ප්‍රකාශ කර ඇති අතර ඔහු විසින් එය රජයේ ප්‍රතිපත්තිවල ඇති සාර්ථකත්වය වෙත බැර කරන ලදි.

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 ට අදාළ වාර්ෂික ආර්ථික විවරණය(Annual Economic Review) පරිශීලනය කර ඇත.

ජනාධිපති උපදේශකවරයා විසින් සඳහන් කරන ලද අනුපාතය විරැකියාවට අදාළ සංඛ්‍යාලේඛන සමඟ සමපාත වේ: එනම්, 2020 දී 5.5% ක් ලෙස සටහන්ව තිබූ විරැකියා අනුපාතය 2009 න් පසු වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය වන අතර 2023 සඳහා වාර්තා වී ඇති අනුපාතය 4.7% කි. කෙසේ වෙතත්, ධනාත්මක මෙන්ම ඍණාත්මක සාධක හේතුවෙන් ද විරැකියා අනුපාතය අඩු විය හැක.

එම කරුණ මෙසේ පැහැදිලි කළ හැක. ඉකුත් වූ සති හතර තුළ රැකියාවක් සොයමින් සිටිය ද රැකියාවක් සොයා නොගත් පුද්ගලයින්ගේ ප්‍රතිශතය ලෙසවිරැකියාව මනිනු ලැබේ. රැකියාවක් නොසොයන පුද්ගලියන් වර්ගීකරණය කරනු ලබන්නේ “ආර්ථික වශයෙන් අක්‍රිය” පුද්ගලයින් ලෙස මිස “රැකියා විරහිත” පුද්ගලයින් ලෙස නොවේ . මේ අනුව, ආකාර දෙකකට විරැකියාව අඩු විය හැක: (1) රැකියා සොයන පුද්ගලයින් විසින් රැකියා සොයා ගැනීම [ධනාත්මක], හෝ (2) රැකියාවක නොයෙදෙන අය අධෛර්යමත් වීම හේතුවෙන් ඉකුත් සති හතර තුළ රැකියාවක් නොසොයා සිටීම – එනම්, ආර්ථික වශයෙන් අක්‍රිය වීම [ඍණාත්මක].

2020 සිට 2023 දක්වා කාලය තුළ රැකියා විරහිත ජනගහනය 70,000 කින් අඩු වී ඇති බව අංක 1 වගුව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම කාලය තුළම, රැකියා නියුක්ත ජනගහනය වැඩි වූයේ 11,000කින් පමණක්  වන අතර, ආර්ථික වශයෙන් අක්‍රියව සිටින වැඩ කරන වයසේ ජනගහනය 625,000කින් වැඩි වී ඇත. පසුගිය වසරේ (2022-2023) මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරිණි: එනම්, රැකියා විරහිත ජනගහනය 1,000 කින් පමණක් අඩු වූ අතර රැකියා නියුක්ත ජනගහනය ද 138,000 කින් අඩු විය (එය වැඩි නොවීය). වැඩ කරන වයසේ ජනගහනය වැඩි වුව ද පුද්ගලයින් ආර්ථික වශයෙන් අක්‍රිය වීම නිසා (රැකියා සොයා ගැනීම නිසා නොව) පමණක් නොව රැකියාවල නියුතු මුළු ජනගහනය ද සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන් විරැකියා අනුපාතය පහත වැටී ඇති බව පසුගිය වසරේ සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

සමස්තයක් වශයෙන්, ජනාධිපති උපදේශකවරයා විරැකියාව පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි. එහෙත්, ඔහු ඍණාත්මක ප්‍රතිඵලයක්ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස නිවැරදි නොවන ලෙස අර්ථකථනය කර ඇත. එනම්, සටහන්ව ඇති එම විරැකියා අනුපාතිකය අඩු වී ඇත්තේ රැකියා වැඩිවීම නිසා නොව, පුද්ගලයින් ආර්ථික වශයෙන් අක්‍රිය වීම (රැකියා නොසොයා සිටීම) නිසා ය .

එබැවින්, අපි ජනාධිපති උපදේශකවරයාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: ශ්‍රම දායකත්වයේ ප්‍රවණාතවන්වල වෙනස්වීම්           

සංඛ්‍යා ‘000 වලිනි



මූලාශ්‍රය

වාර්ෂික ආර්ථික විවරණය 2023, ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.