පාඨලී චම්පික රණවක Patali Champika Ranawaka

ගෙව්වාට වඩා වැඩියෙන් ශ්‍රී ලංකාව විදෙස් ණය ගත් බව මන්ත්‍රී රණවක පෙන්වයි

"

එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවූ බව මහ බැංකුව වාර්තා කරත් එම කාලය ඇතුළතම බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් එ.ජ.ඩොලර් බිලියන 3 ක් ණයට අරගෙන තිබෙනවා.

පාඨලී චම්පික රණවකගේ X ගිණුම | අප්‍රේල් 8, 2024

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාව නව ණය වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 3 ක් ලබා ගෙන ඇති බවත්, අපසු ගෙවා ඇති ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 2 ක් බවත් X වේදිකාවේ (මීට පෙර ට්විටර්) සටහනක් තබමින් සඳහන් කළ පා.ම. පාඨලී චම්පික රණවක පවසා සිටියේ ශ්‍රී ලංකාව ආපසු ගෙවූ ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි. ඔහුගේ X සටහන් පෙළෙහි ඉදිරිපත් කර ඇති මෙම කරුණ ශ්‍රී ලංකාව විසින් ණය ගෙවීම පැහැර හරින ලද 2022 අප්‍රේල් මාසයට පසු කාලසීමාවට අදාළව සිදු කරන ලද්දක් වශයෙන් FactCheck.lk මෙහිදී සලකන ලදි.

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ පළ කර ඇති සංඛ්‍යාලේඛන වගු, 2022 සඳහා වන මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පරිශීලනය කරන ලදි.

ආපසු ගෙවන ලද ණය ප්‍රමාණය වශයෙන් පා.ම. විසින් උපුටා දක්වන ලද එ.ජ.ඩොලර් බිලියන 2 ක සංඛ්‍යාව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්සේමසිංහ සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රංජිත කීර්ති තෙන්නකෝන් ඇතුළු රජයේ නිලධාරීන් විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාව සමඟ සමපාත වේ. මෙම සංඛ්‍යාවට 2022 අප්‍රේල් සිට 2024 පෙබරවාරි දක්වා කාලය තුළ ආපසු ගෙවන ලද ණය ප්‍රමාණය ඇතුළත් වන බව වාර්තා වේ. එමෙන්ම, එ.ජ.ඩොලර් බිලියන 1.38 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බව ප්‍රසිද්ධියට පත් කර ඇති නවතම මහ බැංකු දත්ත (2022 අප්‍රේල් සිට 2023 දෙසැම්බර් දක්වා) වාර්තා කරයි. 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවල සිදු කරනු ඇතැයි සැලකිය හැකි ආපසු ගෙවීම් ඇතුළත් කළ විට එ.ජ.ඩොලර් බිලියන 2 ක සංඛ්‍යාව යනු පිළිගත හැකි අගයකි.

ශ්‍රී ලංකාව ආපසු ගෙවා ඇති ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බහුවපාර්ශ්වික සංවිධාන වෙතින් ණය වශයෙන් ලබා ගෙන ඇති බවට තර්ක කරමින් එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇතැයි යනුවෙන් රජය පැවසූ කරුණට ප්‍රතිචාර දැක්වීම සඳහා පා.ම. මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි යන්න FactCheck.lk හි වැටහීම වේ.

ණයට ගත් මුදල්: ණය ගෙවීම පැහැර හැරීමෙන් පසුව එළැඹි කාල සීමාව තුළ ලබා ගත් බහුපාර්ශ්වික ණය ප්‍රමාණය පා.ම. සඳහන් කළඑ.ජ.ඩොලර් බිලියන 3 ක සංඛ්‍යාව සමඟ බොහෝ දුරට සමපාත වේ.

2022 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා: මෙම කාලසීමාව තුළ ලබා ගත් මුළු බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 1.81 කි. නමුත්, ණය පැහැර හැරීම හේතුවෙන්, ඉන්දියාවෙන් ලැබුණු ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් බිලියන 1 ක ණය පහසුකම හැර බොහෝ ද්විපාර්ශ්වික මූලාශ්‍ර ශ්‍රී ලංකාවට ණය ලබා දීම තාවකාලිකව නතර කර තිබිණ. එනම්, ශ්‍රී ලංකාව එ.ජ.ඩොලර් බිලියන 0.81ක් පමණ වැඩි වශයෙන් බහුපාර්ශ්වික ණය ලෙස ලබාගෙන ඇත.

2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා: මෙම කාලසීමාව තුළ බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් එ.ජ.ඩොලර් බිලියන 2.33 ක ණය ප්‍රමාණයක් ලබා ගත් බව මහ බැංකු දත්ත පෙන්වා දේ.

එබැවින්, පා.ම. විසින් ප්‍රකාශ කරන ලද පරිදි, ණය ගෙවීම පැහැර හැරීමෙන් පසුව එළැඹි කාලය තුළ ලබා ගත් මුළු බහුපාර්ශ්වික ණය එ.ජ.ඩොලර් බිලියන 3ක් (0.81+2.33) පමණ වේ.

එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවා ඇති බවට රජය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් පා.ම. පවසා සිටින්‌නේ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු එළැඹි එම කාලසීමාව තුළම රජය විසින් බහුපාර්ශ්වික සංවිධානවලින් ඊට වඩා වැඩි මුදලක් (එ.ජ.ඩොලර් බිලියන් 3 ක්) ණයට ගෙන ඇති බවයි. පා.ම. සඳහන් කළ එම කරුණ දත්ත සමඟ සමපාත වන බව මෙම විශ්ලේෂණය මගින් පෙන්නුම් කෙරේ.

එබැවින්, අපි පා.ම.ගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

 



මූලාශ්‍රය

External Sector, Central Bank of Sri Lanka, https://www.cbsl.gov.lk/en/statistics/statistical-tables/external-sector

Annual Report 2022, Central Bank of Sri Lanka, https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2022

Foreign Financing Disbursements 2023, Department of External Resources, https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=94&Itemid=216&lang=en#foreign-financing-disbursements-in-2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.