පවිත්‍රා වන්නිආරච්චි

කොවිඩ්-19 ප්‍රජා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි නිවැරදි ප්‍රකාශයක් සිදුකරයි

"

සමාජය තුල මේ රෝගීන් පසුගිය සති තුනකට කිට්ටු වෙන කාලයක් රෝගීන් වාර්තා නොවීම ගැන අපට යම් විදිහක සතුටු වීමක් ලංකා වාසි ජනතව විදිහට වෙන්න පුළුවන් තත්වයක් තියනවා සමාජය තුල රෝගය පැතිරී ගිය නැති නිසා

අද දෙරණ | මැයි 20, 2020

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශය තක්සේරු කිරීමේදී, FactCheck.lk මගින් අමාත්‍යවරියගේ ප්‍රකාශය අවබෝධ කරගෙන තිබෙන්නේ 2020 මැයි 01 සිට මැයි 20 දක්වා කාලය තුළ කොවිඩ්-19 “ප්‍රජා ව්‍යප්තියක්” සිදුවී නොමැති බවක් පවසන ලෙසින් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ප්‍රජා වසංගත  අර්ථ දක්වා ඇත්තේ මෙලෙසයි.

“ 1) වසංගත සම්ප්‍රේෂණ දාමයන්ට සම්බන්ධ කළ නොහැකි විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටීම

2) සක්‍රිය පර්යේෂණාගාර පරීක්ෂණයන්ගෙන් සොයා ගැනෙනා විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටීම, සහ

3) රටේ/පළාතේ/ප්‍රදේශයේ එකිනෙකට අසම්බන්ධිත රෝගීන් පොකුරු ගණනාවක් තිබීම

යන කරුණු ඇතුළත් වූ (නමුත් ඒවාට පමණක් සීමා නොවූ) ඇගයුම් කිරීමක් ඔස්සේ අර්ථ දැක්වෙන, රටවල/පළාත්වල/ප්‍රදේශයන්වල දක්නට ලැබෙනා, රට තුළ රෝගය සම්ප්‍රේෂණය විශාල වශයෙන් වීමෙන් ඇතිවන රෝගය පැතිර යෑම් (outbreaks) වේ.”

මෙසේ ගත් විට, සැලකිය යුතු තරමේ විශාල ප්‍රමාණයක හඳුනාගත් රෝගීන් සඳහා රෝග සම්ප්‍රේෂණ දාමයන් සලකුණු කර ගැනීමට නොහැකි වූ විට, ප්‍රජා වසංගත ව්‍යප්තිය සිදුවන බව සැලකිය හැක.

අමාත්‍යවරිය විසින් දක්වා ඇති කාල සීමාව තුළ වාර්තා වූ සියලුම කොවිඩ්-19 රෝගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශය (MoH) මගින් මූලයන් සලකුණු කළ හැකි බවට හඳුනාගෙන ඇති විශේෂ කණ්ඩායම් දෙකකට ඇතුළත් කළ හැක. එනම් (1) නිරෝධායන මධ්‍යස්ථානවල සිටිනා නැවත මව්බිමට පැමිණි පුරවැසියන්, සහ (2) ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් වේ. මෙය අමාත්‍යවරියගේ ප්‍රකාශය හා සැසඳේ.

කෙසේ වුවත් සැලකිල්ලට ගත යුතු වන්නේ, රෝග සම්ප්‍රේෂණ ගතිකයන් සම්බන්ධයෙන් නිසැක වීමට ඇති හැකියාව, පරීක්ෂණ පැවැත්වීමේ යාන්ත්‍රණයේ සාත්විකභාවය මත රඳා පවතින බවයි. ශ්‍රී ලංකාවේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කෙතරම් පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකෙරී ඇතිද යන්න පිළිබඳ දත්ත ඉදිරිපත් කරන නමුත්, පරීක්ෂණ පැවැත්වීමේ විෂය පරාසය සම්බන්ධ දත්ත ඉදිරිපත් නොකෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ගත් විට, උක්ත දැක්වූ හඳුනාගත් ආසාදිත පොකුරුවලට එපිටින් සිටින්නන් ප්‍රමාණවත් ලෙසින් පරීක්ෂණයන්ට බඳුන් වී ඇතිද යන්න දැනගත නොහේ. පරීක්ෂණ සංඛ්‍යාව අතිශයින්ම සීමිත නම් සහ පරීක්ෂණ පැවැත්වෙනුයේ මෙම ආසාදිත පොකුරු විමසුමට ලක් කිරීමෙන් හඳුනාගත හැකි අයවලුන් සඳහා පමණක් නම්, යම් තාක් කාලයක් සඳහා ප්‍රජා වසංගත සම්ප්‍රේෂණයක් හඳුනා නොගැනී පැවතීමට ඉඩක් තිබේ. මන්දයත්, බොහෝ කොවිඩ්-19 රෝගීන්, තමාගෙන් තවත් අයකුට වෛරසය පැතිරවීමට හැකි සම්පූර්ණ කාලය පුරාවට හෝ එම කාලයෙන් කොටසක් පුරාවට හෝ රෝග ලක්ෂණ නොපෙන්වන හෙයිනි.

මේ අතර, 2020 අප්‍රේල් 11 වන දින  දාතම යෙදුණු අංක 2170/08 දරන ගැසට් පත්‍රය මගින්, කොවිඩ්-19 රෝගයෙන් මිය ගියා යැයි සැක කෙරෙනා ඕනෑම අයෙකුගේ දේහයන් ආදාහනය කළ යුතු බව සඳහන් කර ඇත. උක්ත දක්වා ඇති කාලසීමාව තුළ එවන් ආදාහනයන් සිදු කෙරී නැත. වෛරසයේ ප්‍රජා ව්‍යාප්තියක් සැක නොකරන බවට බලධාරීන්ගේ අදහස හා මෙයද සමපාත වේ.

ඒ අනුව ගත් විට, (අ) පැවැත්වූ පරීක්ෂණ මත පදනම්ව හඳුනාගත් රෝගී කණ්ඩායම්වලට පිටතින් රෝගීන් වාර්තා නොවීම, සහ (ආ) මෙම කාලය තුළ කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය බවට සැක සහිත දේහයන් ආදාහනය කිරීමක් නොමැති වීම යන කරුණු, 2020 මැයි 01 සිට 20 දක්වා කාලය තුළ වසංගතයේ ප්‍රජා ව්‍යාප්තියක් නොමැති බවට අමාත්‍යවරිය කරන ප්‍රකාශය තහවුරු කරයි.

එනිසා, අමාත්‍යවරියගේ මෙම ප්‍රකාශය සත්‍ය යැයි අපි පවසමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.



මූලාශ්‍රය