සිරිපාල ගම්ලත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්ලත් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරයි

"

“...මෙම [එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1] යෝජනාවට සම-අනුග්‍රහය දැක්වීමේ අනෙකුත් භයානක ප්‍රතිඵලය වන්නේ, ඕනෑම අවස්ථාවක මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ගෙන යාමේ බලයක් හිමිවීමයි.”

දිවයින, අරුණ | පෙබරවාරි 25, 2020

false

වැරදියි

තොරතුරු පිරික්සීම

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පිරික්සීම උදෙසා, අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 30/1 යෝජනාව සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිළිබඳ රෝම ප්‍රඥප්තිය පරිශීලනය කළෙමු.

මෙම මූලාශ්‍රයන්ගෙන් ගත් කරුණු පහත පරිදි වේ:

(1) ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් පිළිගත් 30/1 යෝජනාව, ජාත්‍යන්තර අධිකරණයක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කරන්නේ හෝ ජාත්‍යන්තර අධිකරණය වෙත කිසිදු පුද්ගලයෙකු යොමු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කිසිදු බලයක් ලබාදෙන්නේ හෝ ජාත්‍යන්තර අධිකරණයට කිසිදු කරුණක් යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පොදු බලයක් ලබාදෙන්නේද හෝ නැත.

(2) යම්  පුද්ගලයෙකුගේ අපරාධ වගකීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ බලය ඇති එකම ජාත්‍යන්තර අධිකරණය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි (ICC). කෙසේ වෙතත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ රෝම ප්‍රඥප්තියේ අත්සන්කරුවෙකු නොවේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධ ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති රටවලින් පුද්ගලයින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණවීමට බලය ඇති එකම ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) පමණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති හැකියාවට 30/1 යෝජනාවෙන් කිසිදු බලපෑමක් සිදු නොවේ.

මෙසේ බලන කළ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිපිටට හෝ වෙනත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරිපිටට යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව පවත්නා තත්වය, 30/1 යෝජනාව මගින් වෙනස් නොවන බව තහවුරු වේ.

එනිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ උක්ත ප්‍රකාශය සාවද්‍ය යැයි අපි කියමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

සැලකිය යුතුයි: තවත් ජාත්‍යන්තර අධිකරණයක් වන ජාත්‍යන්තර යුක්ති අධිකරණය, තමන් ඉදිරිපිටට පැමිණවීමට ඉඩ ලබාදෙන්නේ ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ පාර්ශවකරුවන් වන හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් වන රටවලට පමණි. එනිසා, ජාත්‍යන්තර යුක්ති අධිකරණය ඉදිරිපිටට පැමිණවීමට හැකියාව ඇත්තේ එම රටවල් පමණක් වන අතර, තනි පුද්ගලයින්ව (හමුදා සෙබළුන්ද ඇතුළුව) ජාත්‍යන්තර යුක්ති අධිකරණය ඉදිරියට පැමිණවීමට හැකියාවක් නොමැත.



මූලාශ්‍රය

  • මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, Promoting reconciliation, accountability and human rights in Sri Lanka, A/HRC/RES/30/1 (2015), පරිච්ඡේදය 6, පි. 4, ප්‍රවේශය මෙතැනින්: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/G15/236/38/PDF/G1523638.pdf?OpenElement[අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]
  • ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ රෝම ප්‍රඥප්තිය (1998), වගන්තිය 13(b), ප්‍රවේශය මෙතැනින්: https://www.icc-cpi.int/resource-library/documents/rs-eng.pdf [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය (1945), වගන්තිය 93, ප්‍රවේශය මෙතැනින්: https://www.un.org/en/sections/un-charter/chapter-xiv/index.html [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]
  • ජාත්‍යන්තර යුක්ති අධිකරණය, ජාත්‍යන්තර යුක්ති අධිකරණ ප්‍රඥප්තිය (1945), වගන්තිය 34(1), ප්‍රවේශය මෙතැනින්: https://www.icj-cij.org/en/statute [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 18]