සජිත් ප්‍රේමදාස

ඉන්ධන මිල අඩු කිරීම් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මිල සූත්‍රය ඉක්මවා යයි

"

ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි.

ද අයිලන්ඩ් | මාර්තු 11, 2020

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කරන්නට යෙදුණේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යෑම සැලකූ විට දේශීය තෙල් මිලද අඩු කළ හැකි බවයි. එසේම ඔහු විසින් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් යන ප්‍රභේදයන් සඳහා නව මිල ගණන්ද නියම ලෙසින් සඳහන් කරන්නට යෙදිණි.

පසුගිය රජය මගින් පනවන්නට යෙදුණු ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ කරගනිමින් FactCheck.lk විසින් සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය තක්සේරු කර ඇත. එම තීරණයට පදනම් වූයේ, ඉහත ප්‍රකාශය සඳහන් වූ සජිත් ප්‍රේමදාසගේ කථාවේදී ඔහු විසින් එම තෙල් මිල ගණන් ලබාගත් ක්‍රමවේදය සඳහන් නොකළද, 2020 පෙබරවාරි 20 වන දින යටකී තෙල් මිල සූත්‍රය පදනම් කරගනිමින් තෙල් මිල අඩු කිරීමට පක්ෂව සජිත් ප්‍රේමදාස විසින් කථා කිරීමයි.

මීට පෙර පැවති රජය මගින් භාවිතා කළ සම්පූර්ණ තෙල් මිල සූත්‍රය කිසිවිටකත් ප්‍රසිද්ධියේ අනාවරණය කර නොමැත. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මගින් මාධ්‍ය නිවේදන දෙකකදී මෙම මිල සූත්‍රයෙන් ලබාගත් සමුච්චිත අගයයන් ලබාදී තිබේ. මෙම අගයයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL)  ප්‍රකාශයට පත් කෙරුණු වෙනත් දත්ත භාවිතා කරමින්, ඉන්ධන මිල සූත්‍රයේ අනෙකුත් විචල්‍යයන්ගේ අගයන් ගණනය කිරීම සදහා එම මිල සූත්‍රය පවත්නා දත්ත ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීමට FactCheck.lk  කටයුතු කර තිබේ.(නිදර්ශකය 1).

ලබාගැනීමට ඇති දත්ත ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා පමණක් සීමා වන බැවින්, FactCheck.lk සිය ඇගැයුමද එම නිෂ්පාදන දෙක සඳහා පමණක් සීමා කොට ඇත.

2020 මාර්තු 10 වන දිනය වන විට පෙට්‍රල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 42.50 ක් ලෙස වූ අතර, ඩීසල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 44.17 ක් ලෙසිනි. මේ වන විට විනිමය අනුපාතය සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් 1 ක් ශ්‍රී ලංකා රුපියල් 181.83 ක් ලෙසිනි. මෙම සංඛ්‍යාවන් භාවිතා කරමින් FactCheck.lk මගින් මිල සූත්‍රයට අනුව පෙට්‍රල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 105 ක් ලෙසින් සහ ඩීසල් ලීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 71 ක් ලෙසින් ඇස්තමේන්තුගත කර තිබේ. මෙම ගණනය කිරීම සඳහා සම්පූර්ණ ඉන්ධන මිල සූත්‍රය භාවිතා කොට නොමැති හෙයින්, ඉහත ඇස්තමේන්තු මිල ගණන්වලට 3% ක දෝෂ සීමාන්තරයක් ඇතුළත් වන බවද සැලකිල්ලට ගත යුතු වේ. කෙසේ වෙතත් එම දෝෂ සීමාන්තරය සමඟින් බැලූ විටද ඇස්තමේන්තුගත අවම මිල, පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 102 ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 68 ක් වේ. එම අවම ඇස්තමේන්තුගත මිලද ප්‍රේමදාස විසින් දැක්වූ මිල ගණන්වලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළින් තිබේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල සූත්‍රය සමඟින් පමණක් නොව ඉන්ධන සඳහා රජය විසින් පනවා ඇති බදු (මූලික වශයෙන් රේගු බදු සහ දේශීය භාණ්ඩ බදු) අඩු කිරීම මගින්ද ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබේ. පෙට්‍රල් සඳහා රුපියල් 25 කින් සහ ඩීසල් සඳහා රුපියල් 10 කින් වන වැඩිමනත් බදු අඩු කිරීමකින්, ප්‍රේමදාස විසින් සිය ප්‍රකාශයේ දක්වා ඇති ඉන්ධන මිල ගණන් වෙත ළඟා වීමට හැකියාව තිබේ. කෙසේ නමුත් මේනයින් බැලූ විට ප්‍රේමදාස විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සඳහා දක්වා ඇති මිල ගණන් සාක්ෂාත් කර ගත හැකි සංඛ්‍යාවන් වුවත්, මෙම ප්‍රකාශයේ සන්දර්භයෙන් යෝජනා කෙරෙනා ලෙසට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීම ඉන්ධන මිල සූත්‍රයට යොදා බැලූ විට ලැබෙනා මිල ගණන් ප්‍රේමදාස විසින් දක්වා ඇති මිල ගණන්වලින් වෙනස් වේ.

එනිසා, අපි මෙම ප්‍රකාශය අර්ධ සත්‍යයක් ලෙසින් කාණ්ඩගත කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි,  වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම  කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි  මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

නිදර්ශකය 1: ඉන්ධන මිල සූත්‍රය සහ භාවිතා වී ඇති උපකල්පනයන්

 

නිදර්ශකය 2: 2020 මාර්තු 10 දින මිල ගණන් සමගින් ඉන්ධන මිල සූත්‍රයේ ප්‍රභේදනය කිරීම

 

 



Additional Note

2020 අප්‍රේල් 30 වන දින වන විට, පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් සඳහා සිංගප්පූරු ප්ලැට්ස් මිල පිළිවෙලින් ඇ.ඩොලර් 19.45 ක් සහ ඇ.ඩොලර් 24.14 ක් ලෙසින් පහත වැටී ඇත. මේ අනුව රජයට අදාළ බදු අය කිරීම්වල අඩු කිරීමකින් තොරව, පෙට්‍රල් මිල ලීටරයකට රුපියල් 76 ක් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල් 48 ක් දක්වා අඩු කිරීමට අවකාශය පවතී .


මූලාශ්‍රය