අජිත් නිවාඩ් කබ්රාල්

අඩු ආදායමට හේතුව ගැන මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි

"

ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්[...]2020 වෙද්දි රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වුණා. ඒත් සමග රටට වාහන ගෙන ඒම නැවැත්තුවා[...]මාස හයක් රට වහලා තිබ්බා. ඒ නිසා යම් යම් ක්ෂේත්‍ර කඩාගෙන වැටුණා. රාජ්‍ය ආදායම අඩු වුණේ එවැනි හේතු නිසා මිස බදු අඩු කිරීම නිසා නෙමෙයි.

ආර්ථිකය | ජූලි 31, 2024

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

තමා මහ බැංකු අධිපති ධුරය දැරූ කාලය තුළ අහිමි වූ ආදායම සම්බන්ධයෙන් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රශ්න කරන ලදි. 2020 වසරේදී බදු අඩු කිරීම, එම වසරේ ආදායම අඩු වීමට හේතුවක් නොවූ බව මීට ප්‍රතිචාර වශයෙන් හිටපු අධිපතිවරයා පැවසූ අතර, 2020 දී ආදායම අඩු වීමට මූලික වශයෙන් හේතු වී තිබුණේ (1) මෝටර් රථ ආනයනය නැවැත්වීම සහ (2) කොවිඩ්-19 වසංගතය බව පැවසීය. 

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාව, 2022 අයවැය ඇස්තමේන්තු සහ 2023 මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය වෙතින් අහිමි වූ බදු ආදායගණනය කරන ලදි. 

මෝටර් රථ ආනයනය නැවැත්වීමෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් – 2019 ට සාපේක්ෂව 2020 දී මෝටර් රථ සඳහා වන නිෂ්පාදන බද්ද රුපියල් බිලියන 82 කින් අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන අතර එය රජයට අහිමි වූ මුළු ආදායමෙන් 15.6% ක් පමණි. 

කොවිඩ්-19 හි බලපෑම සම්බන්ධයෙන් කොවිඩ්-19 හේතුවෙන් රට වසා දමන ලද කාලසීමාවන්ට පසු 2019 ට සාපේක්ෂව 2020 දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය 1.7% කින් අඩු වී ඇති බව මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පෙන්වා දේ. දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව ආදායම පහත වැටුණේ නම්, මෙමගින් රුපියල් බිලියන 25 ක අඩුවීමක් සිදු විය යුතුයමෙය අඩු වූ මුළු ආදායමෙන් 4.7% කි (අතිරේක සටහන 1 බලන්න). 

බදු කප්පාදුවේ බලපෑම සම්බන්ධයෙන් – 2019 අවසානය සහ 2020 ආරම්භය අතර කාලසීමාව තුළ රජය විසින් බදු ප්‍රතිපත්තිවල සංශෝධන කිහිපයක් ක්‍රියාවට නංවන ලදි. (1) නිශ්චිත බදු කිහිපයක් ඉවත් කිරීම සහ (2) බදු අනුපාත අඩු කිරීම මීට ඇතුළත් වේ. 

2020 දී ජාතිය ගොඩනැඟීමේ බද්ද, කාබන් බද්ද සහ ණය ආපසු ගෙවීමේ බද්ද ඉවත් කිරීම මගින් මෙම බදුවලින් ලැබුණු සියලුම ආදායම් රජයේ ආදායමට තවදුරටත් ඇතුළත් නොවිණ. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුකූල වන සේ මෙම බදු ඉවත් කිරීම්වලින් අඩු වූ ආදායම ගණනය කළ විට අඩු වූ ආදායම රුපියල් බිලියන 99 ක් වන අතර එය අඩු වූ මුළු ආදායමෙන් 19% ක් පමණ වේ. 

බදු සංශෝධනවලින් පසු වැට් බද්ද, ආයතනික ආදායම් බද්ද සහ පුද්ගලික ආදායම් බද්දෙන් ලැබුණු ආදායමේ සිදු වූ අඩු වීම වාර්තා කර ඇති දත්තවලින් ගණනය කළ හැක. ආදායමේ මෙම අඩුවීමෙන් 1.7% ක් දළ දේශීය නිෂ්පාදිතයේ සංකෝචනයක් හේතුවෙන් සිදු විණැයි සැලකිය හැක. අඩු වූ ආදායමේ ඉතිරි කොටස සැලකූ විට, බදු ප්‍රතිපත්තිවල සිදු වූ සංශෝධන හේතුවෙන් වැට් බද්දට අදාළව රුපියල් බිලියන 207 ක ආදායමක් ද (අතිරේක සටහන 2 බලන්න)ආයතනික සහ පුද්ගලික ආදායම් බදුවලට අදාළව රුපියල් බිලියන 155 ක ආදායමක් ද අඩු වී තිබේ (අතිරේක සටහන 3 බලන්න). 

 

සාරාංශයක් ලෙස, බදු ඉවත් කිරීම හෝ අඩු කිරීම හේතුවෙන් අහිමි වූ ආදායම, දළ දේශීය නිෂ්පාදිතයට අනුව සැකසූ සරල ඇස්තමේන්තු වශයෙන් දැක්වූ විට 2019 වසරේ අඩු වූ මුළු ආදායමෙන් රුපියල් බිලියන 461 කි (90% කට ආසන්න). හිටපු මහ බැංකු අධිපතිවරයා උපුටා දැක්වූ පරිදි මෝටර් රථ බදු සහ ආර්ථික පරිහානිය හේතුවෙන් අඩු වූ ආදායම, අඩු වූ මුළු ආදායමෙන් රුපියල් බිලියන 107 කට වඩා වැඩි නොවිය හැක. 

ආදායම අඩු වීමට හේතු වශයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් අවධාරණයෙන් ඉදිරිපත් කරන ලද කරුණ (ආනයන අඩු කිරීම සහ කොවිඩ්-19) පවතින දත්තවලට පරස්පර විරෝධී වේ. එම දත්ත (බදු අඩුකිරීම්) මගින් තහවුරු වන පැහැදිලි කිරීම “සම්පූර්ණයෙන්ම බොරුවක්” ලෙස විස්තර කිරීමෙන් ඔහු මෙම දෝෂයේ බලපෑම වඩාත් තීව්‍ර කර ගනී. 

එබැවින්, අපි හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් වර්ගීකරණය කරන්නෙමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අතිරේක සටහන 1 : සාමාන්‍යයෙන්, බදු ව්‍යුහයේ වෙනස්කම් නොමැති විට බදු ආදායම නාමික දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකව වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

අතිරේක සටහන 2: මුල්‍ය සේවා හැර අනෙකුත් අංශ සඳහා වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන ලදි. 2019 වර්ෂයේ වැට් බදු ආදායම (මූල්‍ය සේවාවන් හැර) 15% න් බෙදා අනතුරුව 8% න් වැඩි කර, නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.7% ට ගැලපෙන සේ සැකසීමෙන් ද අඩු වූ වැට් බදු ආදායම ගණනය කළ හැක. 

අතිරේක සටහන 3: 2019/2020 දී ප්‍රතිස්ථාපනය කරන ලද හෝ ඉවත් කරන ලද රඳවා ගැනීමේ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද සහ ආර්ථික සේවා ගාස්තු වෙතින් ලැබෙන ආදායම මෙයට ඇතුළත් වේ



මූලාශ්‍රය

මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තාව 2023.

අයවැය ඇස්තමේන්තු 2022, මුදල් අමාත්‍යාංශය.

මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචනය 2023.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.