පාඨලී චම්පික රණවක

පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක විසින් යහපාලන රජය යටතේ ආදායම් වර්ධනය අධිතක්සේරු කරයි

"

යහපාලනය එනකොට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1050 යි. අපේ ආණ්ඩුව අවුරුදු 5ක් ඇතුළත මේ ආදායම බිලියන 2100 දක්වා දෙගුණ කළා.

ලංකාදීප | පෙබරවාරි 6, 2020

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

FactCheck.lk මගින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිකුත් කළ 2018 වාර්ෂික වාර්තාවේ සහ සතිපතා ආර්ථික දර්ශකයන්ගේ ඇතුළත් දත්ත භාවිතා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තක්සේරු කොට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ප්‍රකාශය කරනා අවස්ථාවේදී, 2019 වසර සඳහා උක්ත දත්ත ලබාගැනීමට තිබුණේ පළමු මාස නවයක කාලය සඳහා පමණි (වගුව 1 බලන්න).

මෙහිදී මන්ත්‍රීවරයා විසින් යහපාලන රජය මගින් රාජ්‍ය ආදායම දෙගුණ කළ බවට කරන තම ප්‍රකාශය තුළ සංඛ්‍යාවන් දෙකක් දක්වයි. එනම් 2014 වසරේ රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.05 ක් ලෙස ආරම්භක අගයක් සහ 2015-2019 කාලවකවානුව තුළ උපරිම රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2.1ක් ලෙසිනි. කෙසේ වෙතත් මෙම පළමු සංඛ්‍යාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා නිවැරදි නොවේ. 2014 වසරේදී එකතු වූ සමස්ත ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.20 ක් විණි. ඇතැම් විට මන්ත්‍රීවරයා විසින් උපුටා දැක්වූ ආරම්භක සංඛ්‍යාවේ දෝෂයට හේතුව වීමට හැක්කේ, ඔහු විසින් සමස්ත රාජ්‍ය ආදායම (බදු ආදායම සහ බදු නොවන ආදායම යන දෙකම ඇතුළත්) නොව බදු ආදායම පමණක් (2014 වසරේදී එය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.05 ක් විය) උපුටා දැක්වීම විය හැක.

2015-2019 කාලය තුළ වාර්තා වූ වැඩිම වාර්ෂික ආදායම වන්නේ 2018 වසරේ ආදායම වූ ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.92 ක ප්‍රමාණය වේ. මෙය මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශිත ආදායමට වඩා අඩු අගයකි. එනිසා, මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශයේදී සඳහන් කරන්නට යෙදුණේ 2019 වසරේ වාර්ෂික ආදායම වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශය කළ කාලය අතරතුරදී ලබාගැනීමට තිබූ දත්ත භාවිතා කරමින් 2019 වසරේ ආදායම ඇස්තමේන්තු කිරීම සඳහා, FactCheck.lk මගින් ඉන් පෙර වසරවල (2015-2018) අවසාන මාස තුනේදී එකතු කරනු ලැබූ ආදායම, සමස්ත ආදායමෙන් කොටසක් ලෙසින් ගෙන භාවිතා කරන ලි. පළමු වගුවෙන් පෙන්වා දෙන ආකාරයට, 2015 සිට 2018 දක්වා වසර කිහිපයේ එක් එක් වසරක අවසාන මාස තුනේ එකතු වූ රාජ්‍ය ආදායම්වල සාමාන්‍යය (29.5%) ගෙන, ඒ මත සිට 2019 වසරේ වාර්ෂික ආදායම ඇස්තමේන්තු කළහොත් එය ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2 ක් වේ. එනිසා, ප්‍රකාශය සිදුකළ කාලය තුළ මන්ත්‍රීවරයාට ලබා ගැනීමට තිබූ දත්ත පදනම් කොටගෙන බලනා විට මෙය පෙනෙනා ලෙසට නිවැරදි අගයකැයි කිව හැක.

මෙම ගණනය සඳහා වූ ආරම්භක සංඛ්‍යාව අඩුතක්සේරුවකින් දැක්වීම ඔස්සේ මන්ත්‍රීවරයා විසින් 2015-2019 කාලය තුළ රාජ්‍ය ආදායම වැඩිවීම අධිතක්සේරු කොට ඇත. සමස්ත රාජ්‍ය ආදායම (ඇස්තමේන්තු ගත කොට ඇති ඉහත අගයයන් මත පදනම්ව) වැඩිව ඇත්තේ 1.67 වාරයකින් මිස මන්තී‍්‍රවරයා පවසන ආකාරයට දෙගුණයකින් නොවේ. එනිසා, මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අර්ධ වශයෙන් සත්‍ය වේ යැයි අපි ප්‍රකාශ කරමු.

*FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම  යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු  සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම  ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

සටහන: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව මන්ත්‍රීවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකළ කාලයට පසුව, එනම් 2020 අප්‍රේල් 28 වන දින නිකුත් කෙරුණි. එහි අඩංගු වූ ලබාගැනීමට ඇති වඩාත් යාවත්කාලීන දත්ත මගින් පෙන්වා දෙන්නේ, 2019 වසරේ එකතු කෙරුණු රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 1.90 ක් වූ බවයි.

වගුව 1: එකතු කළ රාජ්‍ය ආදායම (2014-2019) රුපියල් බිලියනවලින්

 



මූලාශ්‍රය