තොරතුරු පිරික්සීම
ජනතාව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව 8.3% ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගෙන ඇති බවයි. 2024 සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පසු වත්මන් රජය බලයට පත් වූ කාල සීමාව මීට අදාළ කාල සීමාව වශයෙන් මෙහිදී ඔහු විසින් තම සම්පූර්ණ ප්‍රකාශය තුළ පැහැදිලිවම දක්වන ලදි. ආර්ථික වර්ධනය පිළිබඳ මෙම කරුණ ඇගයීම සඳහා වඩාත් අදාළ වන දත්ත 2024 සිව්වැනි කාර්තුවටත්, 2025 පළමුවැනි කාර්තුවටත් අයත් වේ. මෙම කාර්තු දෙක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලන සමයේ පළමු කාර්තු දෙක වන අතර, ඊට අදාළ දත්ත මේ වන විට පළ කර ඇත.
මෙම කරුණෙහි සත්‍යසත්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා FactCheck.lk විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ නිල දත්ත පරිශීලනය කරන ලදි.
2024 සිව්වන කාර්තුවේ සහ 2025 පළමු කාර්තුවේ කාර්තුමය වර්ධන වේගයන් මෙහිදී අප විසින් පරීක්ෂාවට ලක් කරන ලදි (ඒ සම්බන්ධයෙන් වන හේතු දැක්වීම ඉහත කොටසේ දක්වා ඇත). අංක 1 වගුවෙහි පෙන්වා දී ඇති පරිදි, මෙම කාර්තු දෙකෙහි (එනම්, පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත (YoY) වර්ධනයන් පිළිවෙලින් 5.4% ක් සහ 4.8% ක් වේ. එය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් උපුටා දක්වන ලද 8.3% ක අගයට වඩා බෙහෙවින් අඩු අගයකි. මෙම කාර්තු දෙක සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනයේ සමුච්චිත අගය 5.1% ක් වන අතර, එය ද ඔහු විසින් ප්‍රකාශ කරන ලද 8.3% ක අගයට වඩා අඩු වේ.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙනත් ආර්ථික දර්ශකයක් සමඟ පටලවා ගෙන තිබීමට ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් වර්ධනයට අදාළ සංඛ්‍යාලේඛනවලින් FactCheck.lk විසින් සොයා ගැනුණු ආසන්නතම අගය වූයේ 2025 ජූලි සිට 2025ජනවාරි දක්වා අපනයන ආදායමේ සිදු වූ 8.4% ක වර්ධනයයි. නමුත් අපනයන, මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් පහෙන් එකක් පමණි.
සමස්තයක් ලෙස ගත් කළ, 2024 සැප්තැම්බර් මාසයේදී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ගත වූ කාර්තු දෙක වෙන වෙනම සලකා බැලුව ද, නැතහොත් කාර්තු දෙකම සමුච්චිතව සලාකා බැලුව ද, ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක දළ දේශීය නිෂ්පාදිතය සඳහා 8.3%ක වර්ධන වේගයක් වාර්තා කර නොමැත. සැබෑ අගයන් ඊට වඩා බෙහෙවින් අඩු විය.
එබැවින්, අපි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.
අංක 1 වගුව: ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය