කාර්මික ඉඩම් පිළිබඳ ලේකම් ජයසුන්දරගේ ප්‍රකාශය තරමක් නිවැරදියි

"

අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.

පාර්ලිමේන්තුව | සැප්තැම්බර් 2, 2025

partly_true

තරමක් නිවැරදියි

තොරතුරු පිරික්සීම

ශ්‍රී ලංකාව සිය මුළු භූමි ප්‍රමාණයෙන් කර්මාන්ත සඳහා වෙන් කර ඇත්තේ 0.01% ක් පමණක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ප්‍රකාශ කරන ලදි. ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත සඳහා සිදු කරනු ලබන ඉඩම් වෙන් කිරීම් ජාත්‍යන්තර සම්මතයන්ට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව ඇය මෙමගින් හැඟවීය (අතිරේක සටහන බලන්න).

මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ආයෝජන මණ්ඩලයේ සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ දත්ත, රටවල් සතු මුළු භූමි ප්‍රමාණය පිළිබඳ ලෝක බැංකුවේ දත්ත, සහ වෙනත් රටවල කලාප සඳහා සිදු කෙරෙන ඉඩම් වෙන් කිරීම් පිළිබඳ මූලාශ්‍ර පරිශීලනය කරන ලදි.

රටවල් එකිනෙක හා සෘජුව සැසඳිය හැකි ආකාරයෙන් මුළු කාර්මික ඉඩම් ප්‍රමාණය මනින ජාතික හෝ ජාත්‍යන්තර දත්ත ගබඩාවක් FactCheck.lk වෙත මෙහිදී හමු නොවීය. මේ අනුව, ආදේශකයක් ලෙස, ශ්‍රී ලංකාව සහ ඒ හා සැසඳිය හැකි රටවල කාර්මික ඉඩම් ඇස්තමේන්තු කිරීම සඳහා FactCheck.lk විසින් කාර්මික කලාප (අපනයන සැකසුම් කලාප සහ කාර්මික උද්‍යාන) ලෙස නම් කරන ලද ඉඩම් භාවිතා කරන ලදි.

ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 15,285,915 කි. මෙම භූමියෙන් 0.01% ක් පමණක් කර්මාන්ත සඳහා වෙන් කරනු ලැබුවේ නම්, එය ආසන්න වශයෙන් අක්කර 1,528 ක ප්‍රමාණයක් වනු ඇත. කෙසේ වෙතත්, අපනයන සැකසුම් කලාප සඳහා පමණක් වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 5,076 ක් වන අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 0.03% ට සමාන වේ. මෙම අගය ගණනය කිරීමේදී මෙම කලාපවලින් පිටත ඇති කාර්මික ඉඩම් මෙයට ඇතුළත් කර නොමැති වුව ද එම ප්‍රතිශතය ලේකම්වරිය ප්‍රකාශ කළ අගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි වේ.

ලේකම්වරිය ශ්‍රී ලංකාවේ කාර්මික ඉඩම් ප්‍රමාණය ඉතා විශාල ලෙස අවතක්සේරු කර තිබුණ ද, වියට්නාමය සහ තායිලන්තය වැනි ඉහළ කාර්ය සාධනයක් ඇති ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පසුවන කලාපීය රටවල කාර්මික කලාප ඉඩම් සමඟ සසඳන විට, ශ්‍රී ලංකාව කාර්මික භාවිතය සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය කොටසක් වශයෙන් ගත් කළ සාපේක්ෂව අඩු බවට ඇය සඳහන් කළ පුළුල් කාරණය වලංගු වේ.

වියට්නාමයේ කාර්මික කලාප සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය කොටසක් වශයෙන් 0.30% ක් (ශ්‍රී ලංකාව මෙන් දස ගුණයක්) වන අතර තායිලන්තයේ එය 1.27% කි (ශ්‍රී ලංකාව මෙන් හතළිස් ගුණයක්).

ලේකම්වරිය විසින් උපුටා දක්වන ලද 0.01% ක නිශ්චිත අගය සාවද්‍ය වුව ද, ප්‍රසාරණය වන කාර්මික ආර්ථිකයක් සඳහා අපේක්ෂිත මට්ටමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික ඉඩම් වෙන් කිරීම අඩු මට්ටමක පවතින බවට වන අර්ථ නිරූපණය මෙම සංසන්දනය මගින් තහවුරු කෙරේ.

එබැවින්, අපි ලේකම්වරියගේ ප්‍රකාශය තරමක් නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.

අතිරේක සටහන: යම්කිසි රටක භූමි ප්‍රමාණයෙන් 3% ක් කර්මාන්ත සඳහා වෙන් කළ යුතු බවට යෝජනා කරන “අන්තර්ජාතික සංකල්පයක්” පිළිබඳව ද ලේකම්වරිය විසින් සඳහන් කරන ලදි. කෙසේ වෙතත්, එවැනි පාදක ප්‍රතිශතයක් නිර්වචනය කරන කිසිදු විශ්වසනීය හෝ තහවුරු කළ හැකි මූලාශ්‍රයක් FactCheck.lk වෙත හමු නොවීය. ඒ හේතුවෙන්, ඈ සිදු කළ ප්‍රකාශයෙහි ඇතුළත් තහවුරු කළ හැකි කරුණ වෙත මෙම ඇගයීම මගින් අවධානය යොමු කර ඇත. එනම්, ශ්‍රී ලංකාව සිය භූමියෙන් 0.01% ක් කර්මාන්ත සඳහා වෙන් කර ඇති බවට වන ප්‍රකාශයයි. “අන්තර්ජාතික සංකල්පය” පිළිබඳ සඳහනට පාදක වූ කරුණු සම්බන්ධයෙන් ලේකම්වරියගෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට උත්සාහයන් දැරුව ද, ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් එම උත්සාහයන් අසාර්ථක විය.

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්,FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්.

අංක 1 වගුව: රටේ මුළු භූමි ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස කාර්මික කලාප සඳහා වෙන් කරන ලද ඉඩම්  ප්‍රමාණය



මූලාශ්‍රය

Ministry of Industrial Development Board

Total Land Areas of Countries, World Bank

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.