BudgetCheck 2026

FactCheck.lk කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2026 අයවැය කතාවෙන් ප්‍රකාශ තුනක් කරුණු පරීක්ෂාවට ලක් කළේය. මෙයින් ප්‍රකාශ දෙකක් සත්‍ය ලෙසත්, එකක් අර්ධ වශයෙන් සත්‍ය ලෙසත් ශ්‍රේණිගත කරන ලදී.


ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන් 2025 වසරේ පළමු භාගය තුළදී ආර්ථික 4.8% කින් වර්ධනය වුණා. එය බහුපාර්ශ්වීය සංවිධානවල පුරෝකථනයන් ද අභිබවා යාමක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක | අයවැය කතාව 2026

කරුණු පිරික්සීම: මාර්තු/අප්‍රේල් වන විට 2025 සඳහා 3.0% ත්. 3.9%ත් අතර වාර්ෂික වර්ධනයක් අත්කර ගනු ඇතැයි ජාත්‍යන්තරමූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වික සංවිධාන ඇස්තමේන්තු කර තිබුණා. එහෙත්, එම වාර්ෂික පුරෝකථන ඉක්මවා යමින් වසරේ පළමු භාගය තුළ පමණක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.8% කින් වර්ධනය වී තිබෙනවා.

නිගමනය: නිවැරදියි

Source: World Bank, Sri Lanka Development Update, October 2025 Sri Lanka’s Economic Recovery Remains Incomplete as Key Challenges Remain
International Monetary Fund IMF Country Report No. 25/162, ​
Asian Development Bank Sri Lanka: Economy | Asian Development Bank, ​
National Accounts Estimates of Sri Lanka, Second quarter – 2025: https://www.statistics.gov.lk/NationalAccounts/StaticalInformation/GDP2015_expand


2006 වසරේ සිට ආසන්න වශයෙන්, දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 16% ක මට්ටමකට ළඟා වීමටමේ වසරේදී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා….

ජනාධිපති අනුර කුමාර දිසානායක | අයවැය කතාව 2026

කරුණු පිරික්සීම: 2007 වර්ෂයේදී (ප්‍රකාශය තුළින් මෙම වර්ෂය අදහස් කර ඇතැයි සිතිය හැක) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම වී තිබෙන්නේ 16.6% ක්. එතැන් සිට ආදායම පහළ වැටී ඇති අතර, එය සෑමවිටම 16% ට වඩා අඩු අගයක් සටහන් කරමින් 2022 වන විට 8.5% ක් තරම් අඩු අගයක් වාර්තා කර තිබෙනවා. එ් හේතුවෙන්, 2026 සඳහා වර්තමානයේ අපේක්ෂිත ආදායම වන 15.3% ක අගය, 2007 න් පසු වාර්තා වන ඉහළම අගය වනවා.

නිගමනය: නිවැරදියි

Source: Central Bank Annual Economic Review 2024 - Special statistical appendix

2025 වසර අවසන් වන විට අප අර්බුදයට පෙර පැවති ආර්ථික තත්ත්වය ළඟා කරගැනීමට හැකියාව ලැබෙන බව මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක | අයවැය කතාව 2026

කරුණු පිරික්සීම: අයවැය කතාවේ වෙනත් කොටසකදී “අර්බුදයට පෙර ආර්ථික තත්ත්වය” පිළිබඳ සඳහන් කිරීමේදී ජනාධිපතිතුමා විසින් 2019 වසර ඇසුරින් (ණය පැහැර හැරීමට සහ COVID-19 වසංගතයට පෙර කාලසීමාව) කරුණු දක්වා තිබිණි.

යහපත් ආර්ථිකයකට අදාළ ප්‍රධාන මිනුම් ජනාධිපතිවරයා විසින් නිර්වචනය නොකළ බැවින්, අපි ඔහුගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අර්බුදයට හා ප්‍රකෘතියට අදාළ ප්‍රධාන ආර්ථික දර්ශක හතරක් මත තක්සේරු කළෙමු: මුළු නිෂ්පාදිතය (දළ දේශීය නිෂ්පාදිතය), දරිද්‍රතාව, රැකියා නියුක්තිය සහ විදේශ සංචිත එම දර්ශක හතර වේ.

දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.): සංශෝධිත 2025 අයවැය පුරෝකථන යටතේ, ශ්‍රී ලංකාවේ ද.දේ.නි. රු. බිලියන 32,036 දක්වා ප්‍රකෘතිමත් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. මූර්ත අගයන් ඇසුරින් මෙය 2019 ද.දේ.නි. න් 98.7% කට සමාන අගයකි.

දරිද්‍රතාව: රජය විසින් 2019 දී පැවති 14.3% ක දරිද්‍රතා සංඛ්‍යාලේඛනය යාවත්කාලීන කර නොමැත. රජය විසින් නිතර උපුටා දක්වන විකල්ප ලෝක බැංකු ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන 2019 සහ 2025 වසර සඳහා අදාළ එම අගයන් සැසඳූ විට පෙනී යන්නේ, 2025 දී පවා දරිද්‍රතාව පවතින්නේ 2019 මෙන් දෙගුණයකට ආසන්න මට්ටමක බවයි. එබැවින්, ඊට අදාළ ප්‍රකෘතිමත් තත්ත්වයක් වෙත පූර්ණ වශයෙන් මෙතෙක් ළඟා වී නොමැත.

රැකියා නියුක්තිය: මේ සඳහා සම්මත මිනුම “15+ ජනගහනයෙන් රැකියාවක නියුතු කොටස” වන අතර, 2019 දී 50% ක් වුණු එය 2025 දෙවන කාර්තුව වන විට 47.5% දක්වා පහත වැටී තිබේ. ඒ අනුව, අර්බුදයට පෙර (2019) මට්ටමට ළඟා වීමට රැකියා 430,000 ක පමණ හිඟයක් පවතී.

නිතර උපුටා දක්වන විරැකියා අනුපාතයේ වෙනස, එම සංඛ්‍යාලේඛනය නිර්වචනය කර ඇති ආකාරය හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙම ඇගයීම සඳහා නුසුදුසු වන්නකි. මේ යටතේ පුද්ගලයින්ට තමා වුවමනාවෙන් රැකියාවක් සොයමින් සිටි බව තහවුරු කිරීමට නොහැකි නම්, ඔවුන් විරැකියාව යටතට නොව, “ශ්‍රම බලකායට අයත් නොවන” ලෙසට ගණනය කරනු ලැබේ.

සංචිත: ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත එ.ජ.ඩොලර් බිලියන 7.2 ක් කරා ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරේ. මීට සාපේක්ෂව, 2019 අවසානයේ සතු වී තිබූ සංචිත ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 7.6 ක් විය.

මේ අනුව සාර්ව ආර්ථික දර්ශක (ද.දේ.නි. සහ සංචිත) අර්බුදයට පෙර තිබුණු මිණුම් සලකුණු කරා ළඟා වෙමින් පැවතුණ ද, සමාජ-ආර්ථික දර්ශක (රැකියා නියුක්තිය සහ දරිද්‍රතාව) පවතිනුයේ ඊට සැලකිය යුතු ලෙස අඩු මට්ටමක ය.  .

නිගමනය: තරමක් නිවැරදියි

Sources: Budget Speech 2026, Approved Budgte Estimates 2026, IMF Fourthe Review, CBSL Statistics on External Sector

This post is also available in: English