රනිල් වික්‍රමසිංහ Ranil Wickremesinghe

EPF එකට අවාසියක් නැහැයි කියපු කතාවෙන් රනිල් වික්‍රමසිංහට අවාසියක්

"

[…] EPF ගැන කතා කරොත්, අපි සිදු කළේ කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමක් නිසා එකම පුද්ගලයෙකුටවත් සතයක්වත් අහිමි වෙලා නැහැ.

අල් ජසීරා | මාර්තු 6, 2025

blatantly_false

මුළුමනින්ම වැරදියි

තොරතුරු පිරික්සීම

ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (International Truth and Justice Project) අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් හැරිසන් සේවක අර්ථසාධක අරමුදල (Employees’ Provident Fund – EPF) සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් කිසිවෙකුටත් සේවක අර්ථසාධක අරමුදලේ ශතයක් හෝ අහිමි වී නොමැති බවයි. 

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මුදල් අමාත්‍යාංශය විසින් පළ කර ඇති ප්‍රකාශන පරිශීලනය කරන ලදි. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රම තුනක් භාවිතා කරනු ලැබේ: (i) කල්පිරීමේදී ලැබෙන මුදල නාමික වශයෙන් අඩු කිරීම (මුහුණතෙහි ප්‍රකාශිත අගය කප්පාදු කිරීම), (ii) පොලී අනුපාත අඩු කිරීම (කූපන් කප්පාදුව), සහ (iii) කල්පිරීමේ කාලය දිර්ඝ කිරීම (reprofiling). 

හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමකට පමණක් යටත් වූ බවයි (ඉහත සඳහන් තෙවැනි ක්‍රමය); එබැවින්, එම අරමුදලෙහි සාමාජිකයින්ගේ ඉතුරුම්ල වටිනාකම අඩු නොවූ බව ඔහු ඉන් හඟවයි. කෙසේ වෙතත්, මෙහිදී කරුණු දෙකක් සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශය සාවද්‍ය වේ: පළමුව, ප්‍රතිව්‍යුහගත කිරීමේදී කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමට අමතරව වෙනත් ක්‍රම ද භාවිතා කර ඇති අතර, දෙවනුව, කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමෙන් පාඩුවක් සිදු නොවූ බවට පැවසූ කරුණ ද මෙහිදී සාවද්‍ය වේ. 

පළමුව, කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමට (reprofiling) අමතරව එම බැඳුම්කර කූපන් කප්පාදුවකට ද යටත් වී ඇත. ප්‍රතිව්‍යුහගත කිරීමට යටත් වූ බැඳුම්කරවල බරිත සාමාන්‍ය කූපන පොලී අනුපාතය 12.1% ක් වූ බවත්, ඒ වෙනුවට නිකුත් කරන ලද ප්‍රතිස්ථාපන බැඳුම්කරවල බරිත සාමාන්‍ය කූපන‌ පොලී අනුපාතය 9.7% ක් වූ බවත් ප්‍රකාශිත දත්ත මත සිදු කරන ලද ගණනය කිරීම්වලින් පෙනී යයි. එබැවින්, කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම හරහා පමණක් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ බවට සඳහන් කළ කරුණ නිවැරදි නොවේ. 

දෙවනුව, ප්‍රතිව්‍යුහගත කරන ලද ණය මිලදී ගනු ලැබුවේ එහි මුහුණතෙහි ප්‍රකාශිත අගයට වඩා අඩු මිලකට නම් (අවමිල යනුවෙන් ව්‍යවහාර කෙරේ) කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම මගින් ද පාඩුවක් සිදු විය හැක. සම මිලට බැඳුම්කර මිලදී ගනු ලැබුවේ නම් එහි සමස්ත ප්‍රතිලාභ අනුපාතය කූපන් පොලී අනුපාතයට සමාන වේ. නමුත්, අවමිලට එය මිලදී ගත් විට, කල්පිරීමට අදාළ මුදල ගෙවනු ලබන දිනය මත එකී ඵලදාව රඳා පවතී. එබැවින්, ණය ආපසු ගෙවිය යුතු දිනය දීර්ඝ කිරීම (reprofiling) මගින් මෙම ඵලදාව අඩු කෙරේ – එනම් බැඳුම්කර හිමියන්ට ලැබෙනුයේ අඩු ප්‍රතිලාභ අනුපාතයකි. 

රජයේ වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සියලුම වෙළඳපොළ සහභාගිවන්නන්ට ප්‍රතිව්‍යුහගත කරන ලද බැඳුම්කර වෙත ප්‍රවේශ වීමේ එක හා සමාන හැකියාවක් තිබූ බවත්, එම බැඳුම්කර අවමිලට අලෙවි කරන ලද බවත් දත්ත මගින් පෙනී යයි. එබැවින්, කූපන් පොලී අනුපාතය කප්පාදු කිරීම නිසා ප්‍රතිලාභ අනුපාතයේ සිදු වූ පහත වැටීමට අමතරව, බැඳුම්කරවලට අදාළ කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම හේතුවෙන් ද සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් හට අමතර පාඩුවක් (ප්‍රතිලාභ අනුපාතය පහත වැටීම නිසා) අත්විඳීමට සිදු විය.  

ඒ අනුව, කූපන් පොලිය අඩු නොවූ බවට මෙන්ම බැඳුම්කරවල කල්පිරීමේ කාලය දීර්ඝ කිරීම මගින් පාඩුවක් සිදු නොවූ බවට ද හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සාවද්‍ය වේ.   

එබැවින්, අපි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lkවිශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 



මූලාශ්‍රය

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ප්‍රතිඵල නිවේදනය හුවමාරු ආරාධනාව -2023.09.12, මුදල් අමාත්‍යාංශය. https://www.treasury.gov.lk/api/file/94683633-9000-4337-acd5-f4a4cff552da

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිඟ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ විස්තර. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/about/outstanding_treasury_bonds_as_at_20230831.pdf

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.