තොරතුරු පිරික්සීම
හිටපු ජනාධිපති උපදේශක සුනන්ද මද්දුම බණ්ඩාර සිය ප්‍රකාශය තුළින් දක්වා ඇත්තේ, ආනයන සීමාවන් (වාහන හැර) මෑතකදී ලිහිල් කිරීම හේතුවෙන්වෙළඳ හිඟය වැඩි වීම ඇති බවයි.
මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් විදේශීය අංශයට අදාළව පළ කරනු ලබන දත්ත පරිශීලනය කර ඇත.
FactCheck.lk විසින් මෙම කරුණ පැතිකඩ තුනකින් ඇගයීමට ලක් කරන ලදි.
(1) ප්‍රකාශයේ සඳහන් ආාකාරයට වෙළඳ හිඟය වැඩි වී තිබේ ද?
2023 ට සාපේක්ෂව 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වෙළඳ හිඟය එ.ජ.ඩොලර් මිලියන 859 කින් වැඩි වී ඇති බව මහ බැංකුවේ දත්ත සනාථ කරයි. කෙසේ වෙතත්, මෙය හිටපු උපදේශකවරයා සඳහන් කළ එ.ජ.ඩොලර් මිලියන 1,141 ක අගයට වඩා එ.ජ.ඩොලර් මිලියන 282 කින් අඩු අගයකි.
(2) වෙළඳ හිඟය වැඩි වී ඇත්තේ අපනයනය අඩු වූ නිසා ද, ආනයන වැඩි වූ නිසා ද?
ආනයනවලින් අපනයන අඩු කිරීම මගින් වෙළඳ හිඟය ගණනය කරනු ලැබේ. 2023 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 2024 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ අපනයන එ.ජ. ඩොලර් මිලියන 9,518 දක්වා එ.ජ.ඩොලර් මිලියන 536 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි. මෙම වැඩිවීම වෙළඳ හිඟය අඩු කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, එ.ජ.ඩොලර් මිලියන 13,718 දක්වා එ.ජ.ඩොලර් මිලියන 1,395 කින් ආනයන ඉහළ යාම නිසා එම කාලය තුළ වෙළඳ හිඟය වැඩි වී ඇත.
(3) වෙළඳ හිඟය වැඩිවෙමින් පවතින්නේ ආනයන සීමාවන් ඉවත් කරන ලද නිෂ්පාදන ආනයනය කිරීම නිසා ද?
ආනයන වැඩිවීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ආනයන සීමා ඉවත් කිරීම නොවේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත ඇසුරින් FactCheck.lkසිදු කළ විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ ආනයන සීමාවන් නොපැනවූ හෝ තවමත් සීමා ඉවත් කර නොමැති වෙනත් නිෂ්පාදන හේතුවෙන් එ.ජ.ඩොලර් මිලියන 724 කින් (60%) ආනයන වැඩි වී ඇති බවයි. සීමා කිරීම්වලට යටත්ව තිබූ එහෙත් පසුව සීමාවන් ඉවත් කරන ලද නිෂ්පාදන හේතුවෙන් ආනයන වැඩි වී ඇත්තේ එ.ජ.ඩොලර් මිලියන 479 කින් (40%) පමණි.
තම ප්‍රකාශය සිදු කිරීමේදී හිටපු ජනාධිපති උපදේශකවරයාට වැරදීමක් සිදු වී ඇති තැන් දෙකකි: (1) ඔහු වෙළඳ හිඟය 30% කට වඩා වැඩි අගයකින් වැඩි කොට දක්වා ඇති අතර, (2) ආනයනවල ඉහළ යාමට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ වෙනත් භාණ්ඩ වුව ද (එම භාණ්ඩ ආනයනය නොකරන ලද්දේ නම් වෙළඳ හිඟය ද ඉහළ නොයනු ඇත) ඔහු එය ආනයන සීමාවන්ට ලක්ව තිබූ භාණ්ඩවල ආනයනයේ වැඩි වීමට බැර කර ඇත.
එබැවින්, අපි හිටපු ජනාධිපති උපදේශකවරයාගේ ප්‍රකාශය වැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු.
අතිරේක සටහන 1: ආනයන සීමා ඉවත් කිරීමේ බලපෑම වඩා හොඳින් තක්සේරු කිරීම සඳහා අපි 2023 සහ 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා ඉලක්කම් 8 මට්ටමින් HS කේත ගෙන ආනයන වියදම් විශ්ලේෂණය කළෙමු. මෙහිදී නිෂ්පාදන කාණ්ඩ දෙකකට බෙදා වර්ගීකරණය කර ඇත:
- 2020 සහ 2024 අතර යම් ආකාරයක සීමා කිරීම්වලට යටත්ව තිබී (ආනයන තහනම් කිරීම්, තාවකාලික අත්හිටුවීම්, ආනයන පාලන බලපත්‍ර සහ ණය පදනම ද ඇතුළුව) පසුව සීමාවන් ඉවත් කරන ලද නිෂ්පාදන, සහ
- වෙනත් නිෂ්පාදන (කිසිදු සීමාවකට යටත් නොවූ හෝ තවමත් සීමාවන් ඉවත් කර නොමැති).
* HS කේතය යනු ජාත්‍යන්තර වෙළඳාමේ නිෂ්පාදන හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රමිතිගත කේතයකි. එය ලෝක රේගු සංවිධානය විසින් නියම කරනු ලබන අතර නිෂ්පාදන සංගතව වර්ගීකරණය කිරීමට සහ විස්තර කිරීමට ගෝලීය වශයෙන් භාවිතා වේ.
අංක 1 වගුව: ආනයනවල වර්ධනයට ලැබුණු දායකත්වය
*ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කරන ලද ආනයනයන්ට අදාළ සංඛ්‍යා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සපයන ලද දත්ත සමඟ නොසැසඳේ.