දේශාල් ද මැල්

දේශාල්, වෙරිටේ රිසර්ච් ආයතනයෙහි පර්යේෂණ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරන අතර FactCheck.lk සඳහා උපදේශකවරයකු මෙන්ම එහි විශ්ලේෂකයකු ලෙසද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත් ශාස්ත්‍රීය අංශයේත් අත්දැකීම් ඇති ආර්ථික විද්‍යාඥයෙකි.  දේශාල් 2017 සිට 2019 දක්වා බදු ප්‍රතිසංස්කරණ සහ අනෙකුත් රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ආර්ථික උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේද කටයුතු කර ඇත. එලෙසම ඔහු ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවේ (National Trade Negotiation Committee) සාමාජිකයෙක් වශයෙන් සේවා වෙළඳාම හා සබැඳි සාකච්ඡාවන් සඳහා නායකත්වය ලබා දුන් අතර ඒ හරහා ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ පළමු ද්විපාර්ශ්වික සේවා ගිවිසුමට එළැඹීම සිදු විය. මීට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන හේලීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරමින් ආයතනික ක්ෂේත්‍රය තුළද සේවය කර ඇත. ඔහු දැනට සම්පත් බැංකුව මෙන්ම මීට පෙර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Sri Lankan Airlines), ශ්‍රී ලංකන් කේටරින් සමාගම (Sri Lankan Catering) සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Center for Poverty Analysis – CEPA) ඇතුළු ආයතනික සහ ආයතනික නොවන මණ්ඩල ගණනාවකද සේවය කර ඇත. එමෙන්ම, ඔහු 2018-2019 දී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (Securities & Exchange Commission of Sri Lanka) කොමසාරිස්වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් වන අතර, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලෙන් (London School of Economics) ජාත්‍යන්තර දෙශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ඇත. 2019 වසරේදී  ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ඔහු තරුණ ගෝලීය නායකයෙකු (Young Global Leader) ලෙස නම් කරන ලදි.

This post is also available in: සිංහල தமிழ்