2024 වසරේ වැඩියෙන් ණය අරන් ආණ්ඩුව අමාරුවේ වැටිලා ද?

FactCheck.lk පැහැදිලි කිරීමක්

පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් පවතී. ඇතැමුන් තර්ක කරන්නේ ආණ්ඩුව අධික ලෙස ණය ගනිමින් සිටින බව ය. එයට ප්‍රතිචාර දක්වන අනෙක් අය පවසන්නේ ආණ්ඩුවේ ණය ගැනීම පිළිගත හැකි මට්ටමක පවතින බව ය. මේ අතරවාරයේම, ගනිමින් සිටින ණය වැඩියෙන් යෙදවෙන්නේ අයවැය හිඟය පියවාගැනීමට ද, නැතිනම් ගත් ණය නැවත ගෙවීමට ද යන්න අරබයා මත ගැටුමක් ද ඇත.

ආණ්ඩුව ණය ගන්නේ කුමක් සඳහා ද, ණය ගැනීමෙන් ඇති වන බලපෑම සහ එහි අවශ්‍යතාවය පිළිබඳව ඉදිරිපත් කෙරෙන විවිධ අර්ථකථන ඉහත සඳහන් විවාදයන්ට බොහෝ දුරට තුඩු දී තිබේ. FactCheck.lk ඉදිරිපත් කරන මෙම පැහැදිලි කිරීම, ආණ්ඩුවේ ණය ගැනීම වටා ගෙතී ඇති ප්‍රධාන ප්‍රශ්න 3 ක් ආවරණය කරන අතර, සාක්ෂි මත පිහිටා ඒ හා සම්බන්ධ ව්‍යාකූලත්වය දුරු කරලීමට අපේක්ෂා කරයි. 

ප්‍රශ්න අංක 01 – ආණ්ඩු ණය ගන්නේ ඇයි?

ආණ්ඩු ණය ගන්නේ මූලික වශයෙන් ප්‍රධාන හේතු 3ක් නිසා ය.

අ. ආණ්ඩුවේ ප්‍රාථමික හිඟය පියවීමට

යම් කිසි ආණ්ඩුවක වියදම් (ණය පොලී ගෙවීම් හැරුණු විට) ආදායම ඉක්මවූ විට ඇති වන හිඟය ප්‍රාථමික හිඟය නමින් හඳුන්වනු ලබනවා. ණය ගැනීම මගින් එම හිඟය පියවනු ලබන අතර ඒ හේතුවෙන් රටේ ණය ප්‍රමාණය ඉහළ නැංවෙනු ඇත.

 ආ. ආණ්ඩුවේ ණය පොලී ගෙවීමට 

කාලය ගතවත්ම, දිගින් දිගටම පාථමික හිඟයන් සනිටුහන් කිරීම නිසා එකතු වන ණය ප්‍රමාණය මත පොලී ගෙවීමට ආණ්ඩුවට සිදු වේ. එමෙන්ම, ප්‍රාථමික හිඟයක් පවතින අවස්ථාවකදී මෙම ණය පොලී ගෙවිය හැකි වන්නේ ද නැවත ණය ලබා ගැනීම හරහා ය. (අ) ණය පොලී සහ (ආ) ප්‍රාථමික හිඟයේ එකතුව අයවැය හිඟය නැත්නම් රාජ්‍ය මූල්‍ය හිඟය ලෙස හඳුන්වනු ලබනවා.

ඇ. කල්පිරෙන ණය පියවීමට

අයවැය හිඟය පියවීමට අමතරව කල්පිරෙන ණය මුදල්වල මුල් මුදල් ආපසු ගෙවීමට ද ආණ්ඩුවලට ණය ගැනීමට සිදු වේ. අයවැය හිඟයක් පවතින අවස්ථාවකදී කල්පිරෙන ණය මුදල් පියවීමට නම් ආණ්ඩුවලට ඇත්තේ නව ණය ලබා ගැනීමේ විකල්පය පමණි.

(ආ) ප්‍රාථමික හිඟය පියවීම, (ආ) ණය පොලී ගෙවීම, සහ (ඇ) කල්පිරෙන ණය මුදල්වල මුල් මුදල් ආපසු ගෙවීම යන වාර්ෂිකව ඉටු කළ යුතු මෙම බැඳීම් 3 එක්ව ගත් විට, වසරක් පාසා ආණ්ඩුවකට ගැනීමට සිදු වන මුළු ණය මුදලේ අගය ලැබේ. මෙය, දළ මුල්‍යන අවශ්‍යතාවය – නැතිනම් GFN (Gross Financing Need) ලෙස හැඳින්වේ.

ප්‍රශ්න අංක 02 – 2024 වසරේ ආණ්ඩුව කොපමණ මුදලක් ණයට ගැනීමට බලාපොරොත්තු වූවා ද?

දළ මුල්‍යන අවශ්‍යතාවය ගණනය කිරීම මගින් FactCheck.lk විසින් 2024 සදහා ආණ්ඩුව ගැනීමට අපේක්ෂිත ණය ප්‍රමාණය නිශ්චය කරගන්නා ලදි. දළ මූල්‍යන අවශ්‍යතාවයට ඇතුළත් වන කාණ්ඩ පිළිබඳ විස්තර සහ ඊට අදාළ මූලාශ්‍ර අංක 1 වගුවෙන් ඉදිරිපත් කර තබේ. අයවැය ඇස්තමේන්තු සහ මීට පෙර් නිර්වචනය කරන ලද යෙදුම් මත පදනම්ව ගත යුතු ණය ප්‍රමාණය ගණනය කිරීමේ ක්‍රමවේදය එමගින් පැහැදිලි කෙරෙන අතර 2024 සඳහා දළ මූල්‍යන අවශ්‍යතාවය රුපයල් බිලියන 3,670 ක් වූ බව ඉන් පෙනී යයි (අතිරේක සටහන 1 බලන්න).

අංක 1 වගුව: 2024 දී ආණ්ඩුව ණයට ගත යුතුව තිබූ මුළු මුදල (සංඛ්‍යා රුපියල් බිලියනවලින්) 

මූලාශ්‍ර: පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන 2024 තුන්වැනි කාර්තුව තෙක් ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් පළ කරනු ලබන වාර්තාව

ප්‍රශ්න අංක 03 – 2024 වසර තුළ ආණ්ඩුව ගන්නා ණය ප්‍රමාණය මෙම අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවා යයි ද?

ආණ්ඩුව සිය අයවැයෙන් පහත සාධකවලට අදාළව සීමා පනවා ගැනීමක් සිදු කරයි.

1. දළ මුල්‍යන අවශ්‍යතාවය (ඉහත නිර්වචනය කර ඇත) සහ,

2. ණය තොගයේ වැඩි වීම – යම් නිශ්චිත අවස්ථාවක දී ආණ්ඩුව මත පැටවී තිබෙන සමස්ත ණය ප්‍රමාණය

ආණ්ඩුව මෙම සීමාවන් ඉක්මවා ණය ගෙන තිබේ ද, නැති ද යන්න මින් ඉදිරියට FactCheck.lk විසින් පරීක්ෂා කෙරේ. එය සිදු කරන්නේ 2024 ට පනවා තිබෙන මෙම සීමාවන්ට අදාළව ආණ්ඩුව දේශීය වශයෙන් ගෙන තිබෙන ණය ප්‍රමාණය තක්සේරු කරමින් ය.

දළ මූල්‍යන අවශ්‍යතාවය (GFN) පිළිබඳ පරීක්ෂාව

2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව මෙම වසරේ දළ මූල්‍යන අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුව දක්වා ඇති සීමාව රුපියල් බිලියන 3,670 කි. ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ආණ්ඩුව සැබවින්ම ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,903 ක් බව මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව පෙනී යයි. එහෙයින්, අයවැයේ දක්වා ඇති සීමාව – එනම්, රුපියල් බිලියන 3,670 තෙක් සීමාව – තුළ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය ඇතුළත තවත් රුපියල් බිලියන 1,766 ක මුදලක් ණයට ගැනීමට ආණ්ඩුවට හැකියාව ඇත.

පවතින දත්ත අනුසාරයෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන ණය ගැනීමේ ඇස්තමේන්තුව නැවත විමසා බැලීමට FactCheck.lk කටයුතු කළේ ය. ඊට අදාළ ගණනය කිරීමට අනුව මෙම කාලසීමාවේ ගත යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,612 ක් වනු ඇති බව පෙනී යයි. මෙය ඉහත සදහන් කළ රුපියල් බිලියන 1,766 ට වඩා අඩු මුදලක් (වැඩි විස්තර සඳහා අතිරේක සටහන 2 බලන්න) වන බැවින් එය අයවැයෙන් පනවා ඇති සීමාව ඇතුළත පවතී. ඔක්තෝබර් සිට ‌දෙසැම්බර් දක්වා කාලය තුළ ගත යුතු ණය මුදල මෙසේ අඩු වී තිබීම භාණ්ඩාගාර බිල්පත්වලට සිදුකළ යුතු පොලී (කූපන්) ගෙවීම්වල  පහත වැටීමට බැර කළ හැකිය. එම පොලී ගෙවීම් 2024 අයවැය ඇස්තමේන්තුවල සඳහන් සංඛ්‍යාවලට වඩා අඩු මට්ටමක පැවතිණ.

ප්‍රතිඵලය – දළ මුල්‍යන අවශ්‍යතාවය වෙනුවෙන් අයවැයෙන් පනවා ඇති සීමාව ඉක්මවා 2024 වසරේ මුදල් ණයට ගැනීමක් මේ නිසා අපේක්ෂා කළ නොහැකි ය.

ණය තොගය පිළිබඳ පරීක්ෂාව

ආණ්ඩුවේ ණය තොගයේ ඉහළ යාම සඳහා අපේක්ෂිත සීමාව ගණනය කිරීමට, දළ මුල්‍යන අවශ්‍යතාවයට පනවා ඇති සීමාවෙන් අපේක්ෂිත ණය ගෙවීම් අඩු කිරීමට පළමුවෙන් කටයුතු කෙරිණ.

ආණ්ඩුව මුදල් ණයට ගෙන ඇත්තේ කල්පිරෙන ණය පියැවීමට නම් ණය තොගයේ ඉහළ යාමක් සිදු නොවේ. නමුත්, ඊට අමතරව, අයවැය හිඟය පියැවීමටත් ආණ්ඩුව ණය ගන්නේ නම්, එය ණය තොගයේ ඉහළ යාමකට හේතු වේ.

2024 අයවැය ඇස්තමේන්තුවලට අනුව අයවැය හිඟය රුපියල් බිලියන 2,401ක් වනු ඇතැයි ආණ්ඩුව පුරෝකථනය කර ඇත. ඒ අනුව, ඒ හා සමානම අගයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර, ණය තොගයේ වැඩි වීමටත් රුපියල් බිලියන 2,401 ක සීමාවක් එමගින් පනවා ඇත. 2024 පළමු මාස නවය තුළ (ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා) රුපියල් බිලියන 956 කින් ණය තොගය ඉහළ ගොස් ඇත. ණය තොගයේ වැඩිවීමට අයවැයෙන් පනවා ඇති ඉහත සීමාව සැලකිල්ලට ගත් විට මෙහි අර්ථය නම්, ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා රුපියල් බිලියන 1,445 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට තිබුණු බවය.

අයවැය හිඟය පියවාගැනීමට අවශ්‍ය වන ණය මුදල දේශීය සහ විදේශීය ණය ඇසුරින් සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි යන්නත් අයවැයේ දක්වා ඇත. එයට අනුව, දේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 1,030 ක ණය මුදලකින් සහ විදේශීය මට්ටමින් ලබා ගන්නා රුපියල් බිලියන 415 ක ණය මුදලකින් ඉහත දැක්වූ රුපියල් බිලියන 1,445 ක මුදල, ණයවලින් පියවා ගැනීමට අපේක්ෂා කරන ලදි.

ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය අතරතුර දේශීය ණය තොගය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371 කින් පමණි. එනම්, දෙසැම්බර් මාසය දක්වා දේශීය මට්ටමින් ගන්නා ණයවලට අයවැයෙන් පනවා ඇති සීමාව සැලකිල්ලට ගත්විට, දෙසැම්බර් මාසයේදී තවත් රුපියල් බිලියන 659 ක ණය ගැනීමේ අවකාශයක් ආණ්ඩුවට ඇත.

ප්‍රතිඵලය – දෙසැම්බර් මාසය වන විටත් මේ සා ණය ප්‍රමාණයක් ගැනීමට අවකාශය ඉතිරිව තිබීමෙන් පෙනී යන්නේ 2024 වසරේදී ආණ්ඩුව දේශීය මට්ටමින් ලබා ගන්නා සමස්ත ණය මුදල පැහැදිලිවම අයවැයෙන් දක්වා ඇති සීමාව ඇතුළත පවතින බවයි.

දළ මුල්‍යන අවශ්‍යතාවය සහ ණය තොගයේ වැඩිවීමට අදාළව පනවා ඇති සීමාවන් ඇසුරේ ඉහත ප්‍රතිඵල සැලකිල්ලට ගත් විට 2024 වසරේදී පමණට වඩා වැඩියෙන් ණය ගැනීමට සිදුවීමේ අවදානමක ආණ්ඩුව නොසිටින බව පැහැදිලි වේ.

අතිරේක සටහන 1: 2024 සඳහා අනුමත අයවැය රුපියල් බිලියන 7,350 කි. මෙයට මතු දැක්වෙන ප්‍රතිපාදන ඇතුළත් කර නැත: විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ ණය හුවමාරු සඳහා රුපියල් බිලියන 3,000 ක්, බැංකු ප්‍රතිප්‍රාග්ධනකරණය කිරීම සඳහා රුපියල් බිලියන 450 ක්, සහ රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම සහ මුදල් අගය අතර වෙනස සැලකිල්ලට ගැනීමට අදාළව රුපියල් බිලියන 230 ක්. 

මූලාශ්‍රය: අයවැය කතාව 2024

අතිරේක සටහන 2

භාණ්ඩාගාර බැඳුම්කර කූපන් සහ කල්පිරීම්වල වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන් 512 ක් සහ බිලියන 171 ක් වශයෙන් නොව රුපියල් බිලියන 371 ක් සහ රුපියල් බිලියන 160 ක් ලෙස පුරෝකථනය කර ඇත. දළ මූල්‍යන අවශ්‍යතාවයට ඇතුළත් අනෙකුත් සියලු අයිතමවලට අදාළ අගයන් අයවැය ඇස්තමේන්තුවලට සමාන බවට උපකල්පනය කර ඇත.

අංක  2 වගුව: 2024 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව අයවැයගත කර තිබූ ණය ගැනීම නැවත තක්සේරු කිරීම (සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල්වලින්) 

*අනෙකුත් දේශීය ණය මත පොලිය නොගිනිය හැකි යැයි උපකල්පනය කර ඇති අතර, මෙම ඇගයීම මගින් භාණ්ඩාගාර කූපන් පමණක් ගණනය කෙරේ.

**දළ මූල්‍යන අවශ්‍යතාවය ගණනය කිරීමේදී භාණ්ඩාගාර බිල්පත් මත සිදු කළ යුතු ප්‍රාග්ධන ගෙවීම් ඇතුළත් කර නැත.

මූලාශ්‍ර: පූර්ව අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන 2024 තුන්වැනි කාර්තුව තෙක් ආණ්ඩුවේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් පළ කරනු ලබන වාර්තාව, ණය පිළිබඳ මහ බැංකුවේ සංඛ්‍යාලේඛන

අතිරේක සටහන 3

2023, දෙසැම්බර් 31 වැනි දින, සහ 2024, සැප්තැම්බර් 30 වැනි දින වන විට පැවති රාජ්‍ය ණය තොගය ශ්‍රී ලංකා රුපියල් මෙන්ම එ.ජ.ඩොලර්වලින් ද අංක 3 වගුවෙහි දක්වා ඇත. ණය මුදල් දක්වා ඇති එක් එක් ව්‍යවහාර මුදල් වර්ගයක් ඇසුරින් ණය තොගයේ සිදු වූ වෙනස එහි දක්වා ඇති අතර, අයවැයගත සංඛ්‍යා සමඟ සංසන්දනය කිරීම සඳහා එම වෙනස ශ්‍රී ලංකා රුපියල්වලට හරවා ඇත. 

මෙම විශ්ලේෂණය මගින් ගණනය කර ඇති පරිදි, මෙම මාස නවය තුළ ණය තොගය රුපියල් බිලියන 972.4 කින් ඉහළ ගොස් ඇත. මෙය මුදල් අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇති රුපියල් බිලියන 956 ක හිඟය සමඟ සමීපව සමපාත වේ. විනිමය අනුපාතයන්ගේ සිදු වූ වෙනස්වීම් මෙම වෙනසට හේතුවයි. මින් පෙනී යන්නේ 2024 පළමු මාස නවය තුළ ආණ්ඩුව ගත් ණය අයවැය ඇස්තමේන්තුවලට අනුකූල බවයි.

අංක 3 වගුවරාජ්‍ය ණය තොගයේ සිදු වූ වෙනස2023 දෙසැම්බර් අග සිට 2024 සැප්තැම්බර් අග දක්වා

මූලාශ්‍රය: මුදල් අමාත්‍යාංශය විසින් පළ කරනු ලබන ණය පිළිබඳ කාර්තුමය වාර්තා

This post is also available in: English සිංහල தமிழ்