ශ්‍රී ලංකාව විදේශ සංචිත ගැන වාර්තා කරන්නේ වැරදියට ද?

FactCheck.lk වෙතින් පැහැදිලි කිරීමක්

පසුගිය වසර දෙක තුළ, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත සාවද්‍ය ලෙස වාර්තා කරමින් දේශපාලනඥයින් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් අඩුම තරමින් පහක් හෝ FactCheck.lk විසින් විශ්ලේෂණය කර ඇත. සංචිත පිළිබඳ වාර්තා කිරීමේදී නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සාවද්‍ය කරුණු බොහොමයකට හේතු වූ මූලික ගැටළුව FactCheck.lk මගින් සිදු කෙරෙන මෙම පැහැදිලි කිරීම තුළින් විස්තර කෙරේ. මෙම ලිපියේ කොටස් හතරකි: පළමු කොටස මගින් විදෙස් සංචිත වත්කමක් ලෙස සුදුසුකම් ලැබිය හැක්කේ කුමකට ද යන්න නිර්වචනය කෙරේ; දෙවැන්න, ශ්‍රී ලංකාව සතුව ඇති සංචිත වත්කම් වර්ග ගෙනහැර දක්වයි; තෙවැන්න, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කරනු ලබන විදේශ සංචිත ඒ සඳහා වන ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනයට අනුකූල නොවන්නේ කුමක් නිසා ද යන කරුණ විස්තර කරයි; සිව්වැන්න, මෙම සාවද්‍ය වාර්තාකරණය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් විසින් නැවත නැවතත් භාවිතයට ගනිමින් අවධාරණය කෙරෙන ආකාරය පෙන්වා දේ.

සංචිත වත්කමක් ලෙස සුදුසුකම් ලැබිය හැක්කේ කුමකට ද?

විදේශ විනිමය සංචිත වත්කමක් ලෙස සැලකිය හැක්කේ කුමක් ද යන්නට අදාළ වන ජාත්‍යන්තර ප්‍රමිතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF සංවිධානයේ) ගෙවීම් ශේෂ අත්පොතේ (Balance of Payments), හයවන සංස්කරණය (BPM6) මගින් විස්තර කෙරෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව ද එම වාර්තාකරණ රාමුවට දායකත්වය ලබා ගෙන සිටී. ඒ අනුව, පහත සඳහන් සියලු නිර්ණායක සපුරාලන්නා වූ වත්කමක් සංචිත වත්කමක් යනුවෙන් අර්ථ දක්වනු ලැබේ: (i) අනේවාසිකයෙකු මත පැනවෙන හිමිකමක් හෝ සැලකිය යුතු සංශුද්ධතාවයකින් යුත් රන් ගුලි වශයෙන් පැවතීම, (ii) මුදල් බලධාරීන්ගේ හිමිකාරිත්වය යටතේ හෝ එකී බලධාරීන්ගේ සෘජු හා ක්‍රියාකාරී පාලනය යටතේ පැවතීම, (iii) වඩාත්ම කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබා ගත හැකි (එනම්, ද්‍රවශීල විය යුතුය) වීම, (iv) ජාත්‍යන්තර ගනුදෙනු පියවීම සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි පරිවර්තනය කළ හැකි විදේශ මුදල්වලින් නාමකරණය කර තිබීම සහ පියවා තිබීම; සහ (v) (පොදුවේ) උසස් තත්ත්වයක තිබීම. කිසියම් වත්කමක් මෙම නිර්ණායත් අතුරින් එක් නිර්ණයකයක් හෝ සපුරාලීමට අපොහොසත් වුවහොත්, එය සංචිත වත්කමක් වීමට සුදුසුකම් නොලබයි.

ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත වර්ග මොනවා ද?

ශ්‍රී ලංකාව විසින් වාර්තා කර ඇති විදේශ සංචිත කළඹ සංචිත වර්ග හයකින් සමන්විත වේ: එනම්, (1) රන්; (2) IMF සංවිධානයෙන් ලැබෙන විශේෂගැනුම් හිමිකම් (Special Drawing Rights – SDRs) (IMF සංවිධානය විසින් ණයට දෙන ලද අරමුදල් මෙමගින් නියෝජනය කෙරේ); (3) IMF සංවිධානය සමඟ පවතින ශ්‍රී ලංකාවේ සංචිත මට්ටම (එම සංවිධානය සමඟ පවතින ශ්‍රී ලංකාවේ තැන්පතු එමගින් පිළිබිඹු කෙරේ); (4) ද්‍රවශීල විදේශ මුදල් වත්කම් (විදේශ බැංකු සතු මුදල් සහ කාලීන තැන්පතු මෙන්ම එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් වැනි අලෙවි කළ හැකි සුරැකුම්පත්); (5) මුදල් හුවමාරු සහ ඉදිරි විනිමය ගිවිසුම් වැනි ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ; සහ (6) ඉහත වර්ගීකරණයන්ට යටත් නොවන අනෙකුත් විදේශ මුදල් වත්කම්, එම වර්ග හය වේ.

තම විදේශ සංචිත වාර්තා කිරීමේදී මහ බැංකුවට වරදින්නේ කොතැන ද?

මෙහිදී ප්‍රධාන ගැටළුව වන්නේ, ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ සංචිත වත්කමක් ලෙස වර්ගීකරණය වීමට සුදුසුකම් නොලබන වත්කමක් මහ බැංකුව විසින් තම නිල විදෙස් සංචිතවලට වත්කමක් ලෙස ඇතුළත් කර තිබීමයි. විශේෂයෙන්ම, මෙහිදී මහ බැංකුව චීන මහජන බැංකුවෙන් ලබා ගෙන ඇතිරෙන්මින්බි බිලියන 10 (≈ USD බිලියන 1.4) ක මුදල් හුවමාරුවක් සංචිත වත්කමක් වශයෙන් සලකා ඇත. භාවිතයට ගැනීමට ඇති හැකියාවට අදාළව සපුරා නොමැති කොන්දේසි සැලකිය යුතු ප්‍රමාණයකට මෙම මුදල් හුවමාරුව යටත්ව පවතී (අතිරේක සටහන 1 බලන්න). මෙම අරමුදල් වෙත මහ බැංකුවට අවශ්‍ය පරිදි ප්‍රවේශ වීමට හෝ භාවිතා කිරීමට නොහැකි බව ඉන් අදහස් කෙරෙන අතර, සංචිත වත්කම් වඩාත් කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබා ගත විය යුතු (එනම්ද්‍රවශීල විය යුතු බව) බව පැවසෙන නිර්ණායකය එමගින් උල්ලංඝනය කෙරේ. මෙම නිර්ණායකය, ජාත්‍යන්තර නිර්වචනය යටතේ කිසියම් වත්කමක් සංචිත වත්කමක් ලෙස සුදුසුකම් ලැබීමට සපුරා ලිය යුතු ප්‍රධාන නිර්ණායකයකි. සංචිත වත්කමක් ලෙස සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු නිර්ණායක මෙම වත්කම මගින් සපුරා නොතිබුණ ද, චීන මහජන බැංකුව සමඟ සිදු කර ඇති හුවමාරුවේ සම්පූර්ණ වටිනාකම සංචිතවල වටිනාකම පිළිබඳ මහ බැංකුවේ වාර්තාකරණයට ඇතුළත් කර ඇත.

2021 නොවැම්බර් සිට 2022 මාර්තු දක්වා මහ බැංකු වාර්තාවේ පාද සටහන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, ඊට පෙර ශ්‍රී ලංකාවේ සංචිතවල කොටසක් ලෙස නොසැලකූ චීන මහජන බැංකුව සමඟ සිදු කළ මුදල් හුවමාරුව ප්‍රථම වරට සංචිතවලට ඇතුළත් කර ඇත්තේ 2021 දෙසැම්බර් මාසයේදී වන බවය. කෙසේ වෙතත්, සංචිතයක් ලෙස සලකනු ලබන මෙම හුවමාරුව මත භාවිතයට ගැනීම හා සම්බන්ධ කොන්දේසි පැනවී තිබෙන බව 2022 මැයි වන විට මහ බැංකුව විසින් පැහැදිලි කරන ලදි.

IMF සංවිධානයේ වාර්තාකරණය ද මෙම ස්ථාවරය සනාථ කරයි. IMF සංවිධානය වර්තමානයේදී එහි කාර්ය මණ්ඩල වාර්තා තුළ දළ නිල සංචිතවලින්  (මහ බැංකුව විසින් වාර්තා කරන ලද පරිදි) භාවිතා කළ හැකි සංචිත (IMF සංවිධානය විසින් නිගමනය  කෙරෙන පරිදි ) පැහැදිලිව වෙන්කර දක්වයි. භාවිතා කළ හැකි සංචිත පිළිබඳ වාර්තා කිරීමේදී IMF සංවිධානය චීන මහජන බැංකුවේ හුවමාරුව ඊට ඇතුළත් නොකරයි. මහ බැංකුව වාර්තා කර ඇති සංචිතවල උප කුලකයක් පමණක් “භාවිතා කළ හැකි” සංචිත වශයෙන් IMF සංවිධානය ගණන් ගන්නා අතර ඒ අනුව, ඉතිරිය “භාවිතා කළ නොහැකි” ගණයට වැටේ. නමුත් භාවිතා කළ නොහැකි සංචිතයක් යනු විසංවාදයක් මතු කරන යෙදුමකි: ඒ මන්ද යත්, එහි අර්ථ දැක්වීමට අනුව,”භාවිතා කළ නොහැකි” සංචිතයක් සංචිත වත්කමක් ලෙස වර්ගීකරණය කළ නොහැකි බැවිනි. එය අලුතින් නිර්මාණය වූ ෆොසිලයක් තිබෙන බවට ප්‍රකාශ කර සිටීම වැනිය – ඒ මන්ද යත්, යම් කිසි දෙයක් ෆොසිලයක් නම් එය අලුතින් නිර්මාණය වූවක් විය නොහැකි බව එහි අර්ථ දැක්වීමෙන්ම කියැවෙන බැවිනි.

තම සංචිත වාර්තා කිරීමේදී මහ බැංකුව වාර්තාකාරණයේ යෙදෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් නිර්වචනයට අනුකූලව නම් එලෙස වාර්තා කරනු ලබන නිල සංචිතවලින් චීන මහජන බැංකුවේ හුවමාරුව ඇතුළත් නොකරනු ඇත. උදාහරණයක් ලෙස, 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිල සංචිතප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 6.3 ක් ලෙස වාර්තා කළ අතර, චීන මහජන බැංකවේ හුවමාරුව ද ඊට ඇතුළත් විය. මහ බැංකුවේ වාර්තාකරණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූයේ නම්, එය විසින් වාර්තා කරනු ඇත්තේ එ.ජ.ඩොලර් බිලියන 4.9 ක පමණ සංචිත ප්‍රමාණයක් පමණි.

විදේශ සංචිත වාර්තා කිරීමේදී දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන්ට වරදින්නේ කොතැන ද?

මෙතෙක් කරුණු පිරික්සීම් සිදු කර ඇති ඉහළ මට්ටමේ තීරණ ගන්නන් විසින් සංචිත සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශවල දක්නට ලැබෙන දෝෂ වර්ග දෙකකි. 

පළමු දෝෂය නම්, සංචිත වත්කමක් වීමට අදාළ ජාත්‍යන්තර නිර්වචනය සපුරා නොමැති චීන මහජන බැංකුවේ මුදල් හුවමාරුව (මේ පිළිබඳ විස්තර සඳහා ඉහත කොටස බලන්න) වැනි වත්කම් ඇතුළත් කර ගණනය කළ වටිනාකමක් යොදා ගනිමින් සංචිතවල වටිනාකම වැඩි කොට දැක්වීමයි. මහ බැංකුව ජාත්‍යන්තර වාර්තාකරණයෙන් වෙනස් වූ වාර්තාකරණයක් යොදා ගැනීම හේතුවෙන් මෙම දෝෂය සිදු වන අතර එය තේරුම් ගත හැකි තත්ත්වයකි.

සංචිත ගණන් කිරීමේ එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් භාවිතා කරමින් සංචිතවලට සිදු වූ වැඩිවීම අතිශයෝක්තියට නැංවීම දෙවැනි දෝෂයයි. මෙහිදී බොහෝ විට 2022 අප්‍රේල් මාසයේ සිට ගණනය කිරීම  ආරම්භ කෙරෙන බවට පැවසෙන අතර, එම අවස්ථාවේදී සංචිත ශුන්‍යයට ආසන්නව තිබූ බව පවසනු ලැබේ (එය නිවැරදි වන අතර ඊට චීන මහජන බැංකුවේ හුවමාරුව ඇතුළත් කර නොතිබිණි). කෙසේ වෙතත්, ගණනය කිරීම අවසන් කෙරෙන දිනයට අදාළව සංචිතවල වටිනාකම වශයෙන් මෙහිදී ඉදිරිපත් කෙරෙන්නේ චීන මහජන බැංකුවේ හුවමාරුව ද ඇතුළත් කර ගණනය කර ඇති අගයකි. මෙය සංචිතවල වැඩිවීම පිළිබඳ වැරදි අවබෝධයකට මග පාදයි. අදාළ පුද්ගලයින් අතින් සිදු වූයේ පළමු‌ දෝෂය පමණක් (“භාවිතා කළ නොහැකි”, චීන මහජන බැංකුවේ හුවමාරුව ද ගණන් කිරීම) නම්, ඔවුන් යොදා ගත් ගණනය කිරීමේ ක්‍රමය කිසියම් කාලපරිච්ඡේද දෙකක් අතර සිදු කළ ඕනෑම සංසන්දනයක් සඳහා එකම අයුරින් භාවිතා කළේ නම් ඔවුන් සිදු කළ ප්‍රකාශයන් වැරදියි යනුවෙන් වර්ගීකරණය නොවනු ඇත.

සංචිතවල වටිනාකම උපුටා දක්වන ඕනෑම නිලධාරියෙකු නිවැරදි හා සත්‍ය වාර්තාකරණය සහතික කිරීම සඳහා අනුකූලතාව පවත්වා ගත යුතුය. එම වටිනාකමට චීන මහජන බැංකුවේ හුවමාරුව ඇතුළත් කර ඇත් නම්, අනෙකුත් කාල පරිච්ඡේද සමඟ සිදු කරන සැසඳීම්වලට ද එය ඇතුළත් විය යුතුය; එම හුවමාරුව බැහැර කර ඇත් නම්, සංසන්දනය කරන සියලුම සංඛ්‍යාවලින් ද එය බැහැර කළ යුතුය. නිදසුන් වශයෙන්, අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ බව පෙන්වා දීම සඳහා මහ බැංකුවේ 2024 වසර සඳහා වන වාර්ෂික ආර්ථික විවරණය තුළ 2022 මෙන්ම 2024 වසරට ද අදාළව සංචිත සඳහා වාර්තා කර ඇති සංඛ්‍යාවලට චීන මහජන බැංකුවේ හුවමාරුව ඇතුළත් කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්දේශිත ප්‍රවේශය වන්නේ සංචිත වත්කමවල නිර්වචනයට අනුකූල නොවන චීන මහජන බැංකුවේ හුවමාරුව සහ එවැනි අනෙකුත් වත්කම් බැහැර කර, IMFසංවිධානය විසින් “භාවිතා කළ හැකි සංචිත” ලෙස වාර්තා කරන වත්කම්වල සිදුවන වෙනස සංසන්දනය කිරීමයි.

අතිරේක සටහන 1: චීන මහජන බැංකුවේ හුවමාරුව භාවිතයට ගැනීම සම්බන්ධයෙන් පවතින සීමාවන් මහ බැංකුව සෘජුව සඳහන් නොකරයි. කෙසේ වෙතත්, IMF සංවිධානයේ වාර්තාකරණයෙන් පැහැදිලි වන්නේ චීන මහජන බැංකුවේ හුවමාරුව වර්තමානයේදී පවා (2025 මාර්තු) සංචිතයක් ලෙස භාවිතා කළ නොහැකි බවයි. එහෙත්, භාවිතය සම්බන්ධයෙන් පවතින මෙම සීමාවන් ඉවත් කිරීම ඉදිරියේදී ඇතැම් විට සිදු විය හැක.

මූලාශ්‍ර

ශ්‍රී ලංකා මහ බැංකුව. (2015, නොවැම්බර් 3). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂිත දත්ත ප්‍රකාශන සම්මතයට දායකත්වය ශ්‍රී ලංකාව ලබා ගනියිhttps://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20151103_Sri_Lanka_Subscribes_to_the_IMF%E2%80%99s_Special_Data_Dissemination_Standard_e.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව. (n.d.). ජාත්‍යන්තර සංචිත සහ විදේශ මුදල් ද්‍රවශීලතාවය. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/sdds/International%20Reserves%20and%20%20Foreign%20Currency%20Liquidity.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව. (2024). වාර්ෂික ආර්ථික විවරණය 2024. https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2024

ශ්‍රී ලංකා මහ බැංකුව. (2023). සතිපතා දර්ශක. https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2023). ශ්‍රී ලංකාව: විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ විස්තීර්ණ විධිවිධානය යටතේ පළමු සමාලෝචනය (IMF සංවිධානය විසින් පළ කෙරෙන විවිධ රටවල් පිළිබඳ වාර්තාව අංක 23/12). https://www.imf.org/en/Publications/CR/Issues/2023/12/12/Sri-Lanka-First-Review-Under-the-Extended-Arrangement-Under-the-Extended-Fund-Facility-542441

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2009). ගෙවුම් ශේෂය සහ ජාත්‍යන්තර ආයෝජන මට්ටම් අත්පොත (6 වන සංස්කරණය). https://www.imf.org/external/pubs/ft/bop/2007/pdf/bpm6.pdf .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. (2023). විශේෂ ගැනුම් හිමිකම් දෙපාර්තමේන්තුවේ IMF හි සංචිත මට්ටම් පිළිබඳව නිතර අසනු ලබන ප්‍රශ්න. https://www.imf.org/external/np/sta/ir/IRProcessWeb/pdf/faqapp.pdf

ශ්‍රී ලංකා මහ බැංකුව. (2023). ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහජන බැංකුව සමඟ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹේ. https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/P.R_20210322_The%20Central%20Bank%20of%20Sri%20Lanka%20enters%20into%20a%20Bilateral%20Currency%20Swap%20Agreement_E.pdf

මල්ලවාරච්චි, බී. (2022, පෙබරවාරි 9). ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වාර්තාගත අවම මට්ටමක, දේශපාලනය අර්බුදයක. AP News1https://apnews.com/article/covid-business-health-economy-sri-lanka-a742a0ebe7a7e0734960d68e49bed69a

වික්‍රමසිංහ, ආර්. (2023). නවවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයේ සමාරම්භක උත්සවයේදී 2023-02-08 දින ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. https://parliament.lk/files/documents_news/2023/gov-policy-statement-en.pdf

ඩේලි මිරර් (2022 ජනවාරි 10). ශ්‍රී ලංකාව එ.ජ.ඩොලර් බිලියන 3.1 ක විදේශ මුදල් සංචිත සමඟ 2021 වර්ෂය අවසන් කිරීම සඳහා චීන හුවමාරුවක් ලබා ගනීhttps://www.dailymirror.lk/business-news/SL-draws-down-Chinese-swap-to-close-2021-with-US-3-1bn-foreign-currency-reserves/273-228688#:~:text=A%20few%20days%20before%20the,how%20it%20had%20done%20so.

ආධාර පිළිබඳ දත්ත, https://china.aiddata.org/projects/89457/#:~:text=%27%20Multiple%20sources%20indicate%20that%20the,as%20of%20December%2031%2C%202021.

This post is also available in: English සිංහල தமிழ்