අපගේ ක්‍රමවේදය

ප්‍රකාශයන් තෝරාගැනීමේදී සහ සත්‍යාසත්‍යභාවය පිරික්සුම් කිරීමේදී, එහි විනිවිදභාවය සහතික කිරීම සඳහා, FactCheck.lk විසින් එක් නිශ්චිත ක්‍රියාවලියක් සෑම විටම අනුගමනය කරනු ලැබේ. ස්වාධීන ආයතනයක් වශයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට විසමානුපාතික අවධානයක් ලබා නොදී, සියලුම දේශපාලන පක්ෂයන් හා අනුබද්ධ වන අයවලුන්ගේ ප්‍රකාශයන් තෝරාගැනීමට, FactCheck.lk උත්සාහ දරයි. පර්යේෂණයන් සිදු කිරීමෙන් පසුව පමණක් FactCheck.lk සියලු නිගමනයන් වෙත එළැඹේ. එමෙන්ම, එම නිගමනයන්, ලබාගැනීමට ඇති දත්ත සහ එම නිගමනයන්ට පදනම් වූ තර්කයන්ද ඇතුළත් සවිස්තරාත්මක කරුණු දැක්වීමක් සමඟින් ඉදිරිපත් කරනු ලැබේ.

ප්‍රකාශයන් තෝරාගැනීම
ප්‍රකාශයක් තෝරාගැනීම සඳහා, FactCheck.lk විසින් පහත පියවර අනුගමනය කරනු ලැබේ:

  1. රජයේ වගකිව යුතු නිලතල දරන, ඉහළ මට්ටමේ තීන්දු තීරණ ගන්නවුන් විසින් සිදුකරන ලදැයි සැලකෙන කරුණු මත පදනම් වූ ප්‍රකාශයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධීක්ෂණය කෙරේ. FactCheck.lk වෙනුවෙන් මාධ්‍ය අධීක්ෂණය කිරීම උදෙසා බාහිර අධීක්ෂකයින්ගේ සහයෝගය ලබා ගනී.
  2. FactCheck.lk වෙබ් අඩවියේ ඇති “ප්‍රකාශයන් ඉදිරිපත් කරන්න” යන පහසුකම ඔස්සේ හෝ අපගේ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ හෝ මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයන්ද FactCheck.lk මගින් එක්රැස් කෙරේ.
  3. අදාළ දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව, පොදුජනතාවට අදාළ වීම හා වැදගත් වීම සහ අධ්‍යාපනික වටිනාකමක් තිබීම යන කරුණු පාදක කරගනිමින් ඉහත දැක්වූ ප්‍රකාශයන් වෙන් කොට තෝරාගැනීම සිදු කෙරේ.
  4. සත්‍යාසත්‍යභාවය පිරික්සීම සඳහා ප්‍රකාශයන් තෝරාගැනීමේදී, අනෙකුත් කරුණු අතර පහත කරුණු කාරණාද අප කණ්ඩායමට අදාළ තෝරාගැනීම් කිරීම සඳහා නියාමනයක් වේ:
    1. ප්‍රකාශයේ විෂය ක්ෂේත්‍රය/තේමාව;
    1. එම විෂයය පිළිබඳව වන මහජන කතිකාවේ වත්මන් තත්ත්වය හා දිශානතිය; සහ
    1. එම කතිකාව සඳහා FactCheck.lk හට එකතු කිරීමට හැකියාවක් ඇති වටිනාකම.

කෙසේ නමුත්, අප කණ්ඩායම කාලය හා සම්පත් විෂයෙහි සීමාසහිත වීම නිසා, ඉහත නිර්ණායකයන්ට අනුකූල වන සියලුම ප්‍රකාශයන් පිරික්සීමට අපට නොහැකි වේ.

පර්යේෂණය සහ ලිවීම

ප්‍රකාශයක් තෝරාගත් පසු, පහත දැක්වෙන පියවර අනුගමනය කෙරේ:

  1. එහි සන්දර්භය අවබෝධ කරගැනීම උදෙසා අදාළ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ ලිපියම කියවනු ලැබේ.
  2. අදාළ ප්‍රකාශය වාර්තා කිරීමේ නිරවද්‍යතාවය ස්වාධීනව තහවුරු කර ගැනේ.
  3. එම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉංග්‍රීසි බසින් නම්, එය පරිවර්තනය කෙරෙන අතර, පරිවර්තනයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා එය ස්වාධීනව සමාලෝචනය කෙරේ.
  4. ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජයේ අමාත්‍යාංශයන් වැනි නිල මූලාශ්‍ර ඔස්සේ ලබාගැනීමට හැකි ලේඛනයන් පරිශීලනය කිරීම මගින්, අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශ්ලේෂකයෙකු විසින් එම මාතෘකාව යටතේ ලබාගැනීමට ඇති සියලු දත්ත එක්රැස් කරනු ලැබේ.
  5. ලබාගැනීමට ඇති වඩාත්ම යාවත්කාලීන දත්ත භාවිතා කරමින්, අදාළ ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් වන තර්කය ඇගැයීමට ලක් කෙරේ.
  6. එම දත්ත හා ඇගැයීම මත පදනම්ව, අදාළ ප්‍රකාශය සඳහා නිගමනයක් ලබාදේ. එම නිගමනයන් නිවැරදියි,  තරමක් නිවැරදියි, වැරදියි හා මුළුමනින්ම වැරදියි ලෙසින් වර්ගීකරණය කර ඇත. එම නිගමනයන්ගේ නිර්වචනයන් සඳහා පිවිසීම මෙතැනින්.
  7. අදාළ තර්කය, ලබාගැනීමට ඇති දත්ත, විශ්ලේෂණය සහ නිගමනය ඉදිරිපත් කරමින් සවිස්තරාත්මක කරුණු පිරික්සීමක් ලියැවේ.
  8. එසේ ලියන ලද විශ්ලේෂණය, FactCheck.lk කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් සහ ඉන් අනතුරුව උපදේශක මණ්ඩලය විසින්, එහි අඩංගු දත්ත, තාර්කිකත්වය සහ භාෂාව විෂයෙහි සමාලෝචනය කෙරේ.
  9. සියලුම පර්යන්තයන් ඔස්සේ එම කරුණු පිරික්සීම ප්‍රකාශයට පත් කෙරේ.

මූලාශ්‍ර පිළිබඳ ප්‍රතිපත්තිය

ඕනෑම කරුණු පිරික්සීමක් පාඨකයින්ටද තමන් විසින්ම සිදු කර සනාථ කර ගැනීමට හැකි වීම FactCheck.lk කණ්ඩායමේ අරමුණයි. යම් ප්‍රකාශයක් පරීක්ෂා කිරීමේදී, FactCheck.lk විසින් පොදුජනයාට ප්‍රවේශ විය හැකි වඩාත්ම යාවත්කාලීන දත්ත භාවිතා කරනු ලැබේ. FactCheck.lk, කරුණු පිරික්සීම් සඳහා භාවිතා වන සියලුම දත්ත සඳහා වන මූලාශ්‍රයන් එම විශ්ලේෂණයේ සඳහන් කරන අතර, විස්තරාත්මකව උපුටා දැක්වීමක්ද සිදුවේ. එමෙන්ම, ඉදිරිපත් කළ හැකි සෑම විටකම එම මූලාශ්‍ර සඳහා යොමුවක්ද ඉදිරිපත් කෙරේ.

මූලාශ්‍රයන් තෝරාගැනීමේදී මෙරට රජයේ මූලාශ්‍රයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. රජයේ මුලාශ්‍රයන් තෝරාගත් ප්‍රකාශය සඳහා ප්‍රවේශය ලබා නොදෙන්නේ නම් හෝ අදාළ නොවන්නේ නම් හෝ FactCheck.lk මගින් විකල්ප මූලාශ්‍රයන් සොයාගන්නා අතර, එම මූලාශ්‍රයන් විශ්ලේෂණයට ඇතුළත් කිරීමට ප්‍රථම එම එක් එක් මූලාශ්‍රයේ ක්‍රමවේදය සහ විශ්වසනීයත්වය තක්සේරු කරනු ලැබේ. මෙම විකල්ප මූලාශ්‍රයන් සඳහා, විශ්වසනීය හා පිළිගත් ආයතනයන්ගෙන් ගත් නිල ජාත්‍යන්තර දත්ත, විශ්වසනීය හා පිළිගත් දේශීය බුද්ධි පර්ෂද ආයතනයන්ගෙන් සහ පර්යේෂණ ආයතනයන්ගෙන් සහ එවැනි වෙනත් ආයතනයන්ගෙන් ලබා ගත් දත්ත ආදිය ඇතුළත් වේ.

FactCheck.lk මගින් පොදුජනයාට ප්‍රවේශ විය නොහැකි තොරතුරු භාවිතා කර ඇති අවස්ථාවන්හිදී, FactCheck.lk මගින් අදාළ දත්ත සහ මූලාශ්‍ර වේදිකාව තුළම ඉදිරිපත් කරනු ලැබේ. මෙවැනි අවස්ථාවක් උදාවන්නේ වෙනත් ආයතනයන් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) භාවිතා කර රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට ලබාගත් තොරතුරු FactCheck.lk මගින් භාවිතා කළ විටකදීය. එවන් අවස්ථාවන්හිදී FactCheck.lk මගින් කරුණු පිරික්සීම පළ කිරීමත් සමඟම මහජනතාවට අදාළ දත්ත සඳහා ප්‍රවේශ වීමටද ඉඩකඩ ලබා දේ.

යම්කිසි ප්‍රකාශයක සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම සඳහා නිල මූලාශ්‍රයන් ලෙසින් කිසිම විටක ප්‍රවෘත්ති මාධ්‍ය භාවිතා නොකෙරේ.

This post is also available in: English සිංහල தமிழ்