අපගේ ක්‍රමවේදය

ප්‍රකාශයන් තෝරාගැනීමේදී සහ සත්‍යාසත්‍ය භාවය පිරික්සුම් කිරීමේදී, එහි විනිවිදභාවය සහතික කිරීම සඳහා FactCheck විසින් ස්ථිර ක්‍රියාවලියක් අනුගමනය කරයි. කිසිදු දේශපාලන පක්ෂයකට විසමානුපාතික අවධානයක් ලබා නොදී, සියලුම දේශපාලන පක්ෂයන් හා අනුබද්ධ වන අයවලුන්ගේ ප්‍රකාශයන් තෝරාගැනීමට, ස්වාධීන ආයතනයක් ලෙසින් FactCheck උත්සාහ දරයි. සියළු නිශ්චය කිරීම් වෙත එළැඹෙනුයේ පර්යේෂණයක් සිදු කිරීමෙන් පසුව වේ. සියලුම නිශ්චයන්, ලබාගැනීමට ඇති දත්ත සහ එම නිශ්චයන්ට සහාය සපයන තර්කනයද ඇතුළත් විස්තරාත්මක කරුණු දැක්වීමක් සමගින් ඉදිරිපත් කෙරේ.

ප්‍රකාශයන් තෝරාගැනීම
ප්‍රකාශයක් තෝරාගැනීම සඳහා, FactCheck විසින් පහත පියවර අනුගමනය කරයි:

  1. මහජනයාට වගකිවයුතු නිලතල දරණා ඉහළ මට්ටමේ තීන්දු තීරණ ගන්නවුන් විසින් සිදුකරන ලදැයි සැලකෙන කරුණු සාධක මත පදනම් ප්‍රකාශයන් සඳහා ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය අධීක්ෂණය කෙරේ. FactCheck වෙනුවෙන් මාධ්‍ය අධීක්ෂණය කිරීම උදෙසා බාහිර අධීක්ෂකයින්ගේ සේවය ලබාගනී.
  2. FactCheck වෙබ් අඩවියේ ඇති “ප්‍රකාශය ඉදිරිපත් කරන්න” පහසුකම ඔස්සේ මහජනතාව විසින් ඉදිරිපත් කරනා ප්‍රකාශයන්ද FactCheck මගින් එක්රැස් කරයි.
  3. අදාළ දත්ත වෙත ප්‍රවේශය තිබීම, පොදුජනතාවට අදාළ හා වැදගත් වීම සහ අධ්‍යාපනික වටිනාකමක් තිබීම යන කරුණු පාදක කරගනිමින්, ඉහත කියූ ප්‍රකාශයන් පෙරහන් කොට තෝරාගැනීම සිදුවේ.
  4. සත්‍යාසත්‍ය භාවය පිරික්සීම සඳහා ප්‍රකාශයන් තෝරාගැනීමේදී, අනෙකුත් කරුණු අතර පහත කරුණු කාරණාද අප කණ්ඩායමට අදාළ තෝරාගැනීම් කිරීම සඳහා නියාමනයක් වේ:
    1. a‍රකාශයේ විෂය ක්ෂේත්‍රය/තේමාව;
    2. එම විෂයය පිළිබඳව වන මහජන කතිකාවේ වත්මන් තත්වය හා දිශානතිය; සහ
    3. එම කතිකාව සඳහා FactCheck වෙත එක් කිරීමට හැකියාවක් ඇති අගය.

කෙසේ නමුත්, අප කණ්ඩායම කාලය හා සම්පත් විෂයෙහි සීමාසහිත වීම නිසා, ඉහත නිර්ණායකයන්ට අනුකූල වන සියලුම ප්‍රකාශයන් පිරික්සීමට අපට නොහැකි වීමයි.

පර්යේෂණය සහ ලිවීම
ප්‍රකාශයක් තෝරාගත් පසු, පහත දැක්වෙන පියවර අනුගමනය කෙරේ:

  1. එහි සන්දර්භය අවබෝධ කරගැනීම උදෙසා අදාළ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ ලිපියම කියවනු ලැබේ.
  2. අදාළ ප්‍රකාශය වාර්තා කිරීමේ නිරවද්‍යතාවය ස්වාධීනව තහවුරු කර ගැනේ.
  3. එම ප්‍රකාශය කෙරී ඇත්තේ ඉංග්‍රීසි බසින් නම්, එය පරිවර්තනය කෙරෙනා අතර, පරිවර්තනයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා එය ස්වාධීනව සමාලෝචනය කෙරේ.
  4. ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජයේ අමාත්‍යාංශයන් වැනි නිල මූලාශ්‍ර ඔස්සේ ලබාගැනීමට හැකි ප්‍රලේඛනයන් පරිශීලනය කිරීම ඔස්සේ, අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ පර්යේෂකයෙකු විසින් එම මාතෘකාව යටතේ ලබාගැනීමට ඇති සියලු දත්ත එක්රැස් කරනු ලැබේ.
  5. ලබාගැනීමට ඇති වඩාත්ම යාවත්කාලීන දත්ත භාවිතා කරමින්, අදාළ ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් වන තර්කනය ඇගයුම් කෙරේ.
  6. එම දත්ත හා ඇගයුම මත පදනම්ව, අදාළ ප්‍රකාශය සඳහා නිශ්චයක් ලබාදේ. එම නිශ්චයන් සත්‍ය, අර්ධ සත්‍ය, සාවද්‍ය හා අත්‍යන්තයෙන් සාවද්‍ය ලෙසින් වෙන් කොට ඇත. එම නිශ්චයන්හි නිර්වචනයන් සඳහා පිවිසෙන්න: මෙතනට.
  7. අදාළ තර්කනය, ලබාගැනීමට ඇති දත්ත, විශ්ලේෂණය සහ නිශ්චය ඉදිරිපත් කරමින් විස්තරාත්මක FactCheck විශ්ලේෂණයක් ලියැවේ.
  8. එම ලියූ විශ්ලේෂණය, FactCheck කණ්ඩායමේ අයෙකු විසින් සහ ඉන් අනතුරුව උපදේශක මණ්ඩලය විසින් එහි අඩංගු දත්ත, තාර්කිකත්වය සහ භාෂාව විෂයෙහි සමාලෝචනය කෙරේ.
  9. සියලුම පර්යන්තයන් ඔස්සේ එම FactCheck විශ්ලේෂණය ප්‍රකාශයට පත් කෙරේ.

මූලාශ්‍ර පිළිබඳ ප්‍රතිපත්තිය

ඕනෑම FactCheck විශ්ලේෂණයක් පාඨකයින්ටද තමන් විසින්ම අනුගමනය කිරීමට හැකි වීම FactCheck කණ්ඩායමේ අවශ්‍යතාවයයි. යම් ප්‍රකාශයක් පිරික්සුම් කිරීමේදී, FactCheck විසින් පොදුජනයාට ප්‍රවේශය ඇති වඩාත්ම යාවත්කාලීන දත්ත භාවිතා කරයි. FactCheck විශ්ලේෂණයන් සඳහා භාවිතා වන සියලුම දත්ත සඳහා වන මූලාශ්‍රයන් එම විශ්ලේෂණයේ සඳහන් කෙරෙන අතර, විස්තරාත්මකව උපුටා දැක්වීමද සිදුවේ. ඉදිරිපත් කළ හැකි සෑම විටකම එම දත්ත සඳහා සබැඳියක්ද ඉදිරිපත් කෙරේ.

මූලාශ්‍රයන් තෝරාගැනීමේදී මෙරට රජයේ මූලාශ්‍රයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. රජයේ මුලාශ්‍රයන් තෝරාගත් ප්‍රකාශය සඳහා ප්‍රවේශය ලබා නොදෙන්නේ නම් හෝ අදාළ නොවන්නේ නම් FactCheck මගින් වෛකල්පික මූලාශ්‍රයන් සොයාගන්නා අතර, එම මූලාශ්‍රයන් විශ්ලේෂණයට ඇතුළත් කිරීමට ප්‍රථම එම එක් එක් මූලාශ්‍රයේ ක්‍රමවේදය සහ විශ්වසනීයත්වය තක්සේරු කරනු ලැබේ. මෙම වෛකල්පික මූලාශ්‍රයන් සඳහා, විශ්වසනීය හා පිළිගත් ආයතනයන්ගෙන් ගත් නිල ජාත්‍යන්තර දත්ත, විශ්වසනීය හා පිළිගත් දේශීය බුද්ධි පර්ෂද ආයතනයන්ගෙන් සහ පර්යේෂණ ආයතනයන්ගෙන් සහ එවැනි වෙනත් ආයතනයන්ගෙන් ගත් දත්ත ඇතුළත් වේ.

FactCheck මගින් පොදුජනයාට ප්‍රවේශය නොමැති තොරතුරු භාවිතා කර ඇති අවස්ථාවකදී, FactCheck මගින් අදාළ දත්ත සහ මූලාශ්‍ර පර්යන්තය තුළම ඉදිරිපත් කොට ඇත. මෙවැනි අවස්ථාවක් උදාවන්නේ වෙනත් ආයතනයන් මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) භාවිතා කර රජය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට ලබාගත් තොරතුරු FactCheck මගින් භාවිතා කළ විටකදී වේ. එවන් අවස්ථාවන්හිදී FactCheck මගින්, අදාළ දත්ත සහ ප්‍රකාශිත FactCheck විශ්ලේෂණය සඳහා පොදුජනයාට ප්‍රවේශ වීමේ ඉඩකඩ ලබාදී ඇත.

ප්‍රකාශයක සත්‍යාසත්‍ය භාවය තහවුරු කිරීම සඳහා නිල මූලාශ්‍රයන් ලෙසින් කිසිම විටක ප්‍රවෘත්ති මාධ්‍ය භාවිතා නොකෙරේ.

This post is also available in: English සිංහල தமிழ்