
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් FactCheck.lk සම්බන්ධව දක්වා ඇති ප්‍රතිචාරය 2020 මැයි 15 දින 'අද දෙරණ' රාත්‍රී ප්‍රධාන පුවත් ඔස්සේ විකාශය වුණි. එහිදී FactCheck.lk කරුණු විමසා බැලීමේ ක්‍රමවේදය සහ FactCheck.lk කරුණු විමසීම් සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය නොවන බව කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිමු.
FactCheck.lk පර්යන්තය ඔස්සේ ඉටුවන අප ව්‍යායාමයේ අරමුණ වන්නේ, රටේ වගකිව යුතු පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන පොදුජනතාවට අදාළ වන සහ වැදගත් වන ප්රකාශයන්ගේ සත්‍යාසත්‍ය භාවය ඉදිරිපත් කිරීමයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අයවලුන් මින් පෙරද අප ඉදිරිපත් කළ කරුණු විමසීම් සම්බන්ධයෙන් ධනාත්මක ප්රතිචාරයන් සහ පැහැදිලි කිරීම් ලබාදෙමින්, අර්ථකාරී සංවාදයක් කරා එය ගෙනයෑමට කටයුතු කර ඇති බව මෙහිදී අපි අවධාරණය කරමු.
මෙම කරුණු විමසීම් ඔස්සේ මහජනතාවට අදාළ හා වැදගත් තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි දත්ත හා තොරතුරු ලබාගැනීමට ඇති අවස්ථාව වැඩිදියුණු වනවා පමණක් නොව, රටේ වගකිව යුතු පුද්ගලයින් හටද තමන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වඩාත් නිරවද්‍ය ස්ථාවරයක් පවත්වා ගැනීමටත්, තමන් ඉදිරිපත් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් තමන්ගේ වගවීම ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
ගම්මන්පිල මහතා විසින් කළ ප්‍රකාශයේ අඩංගු කරුණු වෙත යන්නේ නම්, FactCheck.lk ආරම්භයේ සිට 2019 නොවැම්බර් 16 පැවැත්වුණු ජනාධිපතිවරණය දක්වා කාලය තුළ "යහපාලන විරෝධීන්ගේ" කිසිදු ප්‍රකාශයක් "සත්‍ය" ලෙස ප්‍රකාශ කර නොමැති බව ඒ මහතා පවසයි. එසේ වුවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදුකරනු ලැබ 2019 සැප්තැම්බර් 02 දින දිවයින පුවත්පතේ පළවූ ප්‍රකාශයක් සම්බන්ධව FactCheck.lk කරුණු විමසුම් කර බලා, එය 'සත්‍ය' වේ යැයි නිගමනය කොට තිබේ ( http://factcheck.lk/claim/mahinda-rajapaksa-6).
තවදුරටත්, FactCheck.lk මගින් 'අසත්‍ය' බවට වර්ගීකරණය කර ඇති ප්‍රකාශ අතුරින්, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ගේ ප්‍රකාශ අතිශයින්ම නොවැදගත් ඒවා යැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් විසින් සිදුකර FactCheck.lk මගින් 'අසත්‍ය' බවට වර්ගීකරණය කොට ඇති, ජනතාවට අදාළ වැදගත් කරුණු අඩංගු ප්‍රකාශයන් අතර, දුම්කොළ භාවිතයට එරෙහි බදු ප්‍රතිපත්තිය ( http://factcheck.lk/claim/mangala%20samaraweera-2), මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රයන් සඳහා අය වැයෙන් වෙන් කළ මුදල ( http://factcheck.lk/claim/Sagala%20Ratnayaka), ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම හා කලාපීය ශ්‍රේණිගත කිරීම් ( http://factcheck.lk/claim/Patali%20Champika%20Ranawaka), රජයට අයත් ගුවන් සේවා සමාගම් වල ණය ( http://factcheck.lk/claim/patali-champika-ranawaka-5), ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට මෙරට ඇති නීති ප්‍රතිපාදන ( http://factcheck.lk/claim/Ranil%20Wickremesinghe-3) දැක්විය හැක.
අප විසින් "සත්‍ය කරුණු අසත්‍ය යැයි විකෘති ලෙසින් කරුණු දක්වා තිබේ" යනුවෙන් ගම්මන්පිල මහතා තම ප්රකාශයේදී සඳහන් කරයි. අප විසින් යම් කිසිවෙකුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසා බලා අවසානයේ සිදුකරන වර්ගීකරණය කිරීම අසාධාරණ හෝ නිරවද්‍ය නොවන බව හැඟෙනවා නම්, ඕනෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් වහාම අපව සම්බන්ධ කොට ගෙන ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ අයිතිය ලබාදී තිබේ. ඒ බව අපගේ සියලුම කරුණු විමසීම් සමගින්ද සඳහන් කර ඇත. ඒ අනුව අප විසින් මෙතෙක් පළ කොට ඇති FactCheck.lk කරුණු විමසීම් හා වර්ගීකරණය කිරීම් මගින් සත්‍ය කරුණු අසත්‍ය යැයි විකෘති ලෙසින් කරුණු දක්වා ඇති බවක් පෙනී යන්නේ නම්, වහාම ඒ සම්බන්ධයෙන් අපව දැනුවත් කරන ලෙසට අපි ගම්මන්පිල මහතාගෙන් උදක්ම ඉල්ලා සිටිමු. ගම්මන්පිල මහතා විසින් කළ ප්‍රකාශයන් පහක් මේ වනවිට අප විසින් කරුණු විමසුම් කර බලා සාවද්‍ය, අත්‍යන්තයෙන්ම සාවද්‍ය හා අර්ධ සත්‍ය බවට වර්ගීකරණය කොට ඇති අතර, අපගේ එම වර්ගීකරණයන් දෝෂ සහගත යැයි හැඟෙන්නේ නම් අප ඉදිරිපත් කොට ඇති 'ප්‍රතිචාර දැක්වීමේ අයිතිය' භාවිතා කොට ඒවාට ප්‍රතිචාර ලබාදීමට ගම්මන්පිල මහතාට හැකියාව තිබේ. එසේ ඉදිරිපත් කෙරෙන තර්ක සහ/හෝ දත්ත විමසා බලා අපගේ කරුණු විමසීම් වෙනස් විය යුතු යැයි එයින් නිශ්චය වන්නේ නම්, නොපමාව එම කරුණු දැක්වීම් යාවත්කාලීන කරන්නට අපි කටයුතු කරන බවද මෙසේම පවසා සිටිමු.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල සම්බන්ධයෙන් මින් පෙර FactCheck.lk සිදුකළ කරුණු විමසීම් මෙතැනින්:
http://factcheck.lk/claim/udaya-gammanpila-13
http://factcheck.lk/claim/udaya-gammanpila-10
http://factcheck.lk/claim/udaya-gammanpila-7